‘සමථකරණ සංකල්පය‘ පාසල් සිසුන්ට

සමථකරණ සංකල්පය පාසල් පද්ධතියට ප්‍රවේශ කිරිම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත “පාසලට සමථකරණය” වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරමින් බස්නාහිර පළාත් දෙදින ගුරු පුහුණු වැඩසටහන පසුගියදා පැවැත්වුණි.

එහි සමාරම්භක උළෙල 29 වැනිදා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

2005 වර්ෂයේදී බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මූල්‍යාධාර මත නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල් තිහක සමථ ඒකක ස්ථාපිත කිරිමෙන් ආරම්භ වූ පාසල් සමථකරණ ක්‍රියාවලිය 2018, 2019 වර්ෂවල ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය මගින් ක්‍රියාවට නංවන ලද ” දරුවන් සුරකිමු ” ජාතික වැඩසටහන යටතේ මූල්‍යාධාර මත සමස්ත දිවයිනෙහි දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි පාසල් දෙසීයක සමථ ඒකක ස්ථාපිත කිරිම අදියර දෙකකදී සිදු විය.

පාසල් සමථකරණය නවමු මානයකට යොමු කරමින් 2024 වර්ෂයේ “පාසලට සමථකරණය” SEDR ව්‍යාපෘතියේ මූල්‍යාධාර මත ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය. මෙහි ආරම්භක අදියර ලෙස දිවයින පුරා පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් පාසල් 58 ක ගුරුභවතුන් දැනුවත් කිරිමේ වැඩමුළු 15 ක් ක්‍රියාවට නැංවේ.

එහි දෙවන අදියර ලෙස සමස්ත දිවයින ආවරණය වන පරිදි තෝරාගත් පාසල් 58 ක සමථ ඒකක ස්ථාපිත කිරිමට අපේක්ෂිත අතර එමගින් පාසල් ළමුන් 1700 කට අධික සංඛ්‍යාවක් පුහුණු කිරිමට අපේක්ෂිතය. ඒ අනුව උතුරු , නැගෙනහිර , ඌව පළාත් හා කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පාසල් 40 ක හා සෙසු දිස්ත්‍රික්කයන්ගෙන් එක් පාසලක් බැගින් පාසල් 18 ක පාසල් සමථ ඒකක ස්ථාපිත කිරිම අරමුණු කෙරේ.

මෙය යුරෝපා සංගමයේ දායකත්වය මත ක්‍රියාත්මක SEDR ව්‍යාපෘතියේ මූල්‍යාධාර මත බ්‍රිතාන්‍ය කවුන්සිලය හා අධිකරණ අමාත්‍යාංශයේ සමථ මණ්ඩල කොමිෂන් සභාව එක්ව ක්‍රියාවට නැංවේ. ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩ සටහන් මාලාවෙන් පසුව පාසැල් සමථකරණ ඒකක සදහා තෝරා ගන්නා සිසුන් පුහුණු කිරීම සිදු වන අතර, ගැටුම් නිරාකරණ කුසලතාවයෙන් යුතු සිසුන් නිර්මාණය කිරීම පුහුණු වැඩසටහන් පැවැත්වීම තුළින් අපේක්ෂා කරන බව සමථ මණ්ඩල කොමිෂන් සභාව පවසයි.

මෙම වැඩසටහන් මාලාවෙහි බස්නාහිර පළාත් සමාරම්භක අවස්ථාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිසංස්කරණ) ක්‍රිශාන්ති මීගහපොල , බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා නියෝජිත Orlando Edwards, SEDR ව්‍යාපෘතියේ කණ්ඩායම් නායක Jacques Carstens , බස්නාහිර පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ නයනී පෙරේරා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් තිළිණි රත්නසූරිය යන මහත්ම මහත්මීන් සහභාගි වෙමින් අදහස් පළ කරන ලදී. කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ වැඩසටහන් නිලධාරි ප්‍රියන්ත ලියනගේ මහතා සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුනේත්‍රා ස්වර්ණශීලි මිය මෙම වැඩමුළුවෙහි සම්පත්දායකත්වය ලබාදෙන ලදී.