කළුතර බෝ සමිඳුන් දැයට දායාද කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා

(සිරිල් ද සොයිසා මහතාගේ 128 වැනි ජන්ම දිනය පසුගිය 28 වැනිදිනට යෙදී තිබුණි. මේ ලිපිය එ් නිමිත්තෙනි.)

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා සම්බුද්ධ ශාසනයට ද ශ්‍රී ලාංකේය ජාතියට ද සමස්ත මානව වර්ගයාට ද යහපත පිණිස කැප වූ, සුවිශාල මෙහෙවරක් කළ ජාතික නායකයෙකි.ආදර්ශවත් බෞද්යෙකි.සිය පරපුරේ ගෞරවය ආරක්ෂා කර ඉදිරි පරපුරට ද දායාද කළ ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකයෙකි. රටේ සෑම ක්ෂේත්‍රයකම උන්නතියට ක්‍රියා කළ දූරදර්ශි වීරවරයෙකි.

1896 ඔක්තෝබර් මස 26 වැනි දින බළපිටිය, වැලිතර සොලමන් ද සොයිසා නොතාරිස් රාළහාමිට හා හැරියට් ද සොයිසා මැතිනියට උපන් පුණ්‍යවන්ත පුත් කුමරකු වූ මෙතුමා දිවයිනේ අග්‍රගණ්‍ය විද්‍යාස්ථාන වූ මාතර ශාන්ත තෝමස්, ගාල්ල රිච්මන්ඩ්, කොළඹ රාජකීය යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා 1916 කේම්බ්‍රිජ් සීනියර් විභාගය සමත්ව කොළඹ නීති විද්‍යාලයට ඇතුළත් විය. නීති විද්‍යාලයෙන් දක්ෂ නීතිඥවරයකු ලෙස පිටවූ මෙතුමා බළපිටිය හා කළුතර අධිකරණයන්හි සේවය කළ අතර කළුතර අධිකරණයෙහි සේවයට පැමිණීම එතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් විය. කළුතර අධිකරණ සංකීර්ණය අසල දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටි පැරණි බෝධීන් වහන්සේ සංරක්ෂණය කර මහජනයාගේ වන්දනාවට යොමු කළේ ද ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් විසිනි.

දේශපාලන සහ සමාජ සේවයේ ද ව්‍යාපාරික ලෝකයෙහි ද එතුමන්ගේ විශේෂත්වය කැපී පෙනේ.

1941 දී කළුතර නගරාධිපති ධුරයට පත් වූ එතුමා පසුව සෙනෙට් සභාවේ ද වසර 14ක් කටයුතු කළේය. දේශපාලන පරිණතභාවයකින් යුතුව එය මහජන සේවයක් ලෙසම පවත්වාගෙන ගිය එතුමා පේෂ කර්මාන්තය, රබර් කර්මාන්තය ආදී විදේශ විනිමය උපයන, රක්ෂා ප්‍රශ්නය විසඳන කටයුතු ආරම්භ කර පවත්වාගෙන ගියේ ද ස්වකීය ධන පරිත්‍යාගයෙනි. ස්වකීය ඉඩකඩම් පරිත්‍යාගකොට නිවාස සංකීර්ණ ගොඩනැඟීමෙන් ද බස් සේවාවක් ආරම්භ කර මහජන සෙත සලසමින් ද සුවිශාල යහපතක් සමාජයට සිදු කළේය.

කොළඹ තරුණ බෞද්ධ මහා සංගමයේ සභාපති පදවිය, ලංකා නීති සංගමයේ සභාපති පදවිය, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය, බාල දක්ෂ සංගමය, පරම විඥානාර්ථ සංගමය ආදී සංවිධාන රාශියක මූලිකත්වයට, ප්‍රධානත්වයට පත්වීමෙන් සුවිශාල සේවාවන් රැසක් සිදු කිරීමට අවස්ථාව සැලසුණි.

කළුතර මහා විද්‍යාලය හා කළුතර බාලිකා විද්‍යාලය ද ආරම්භ කරන ලද්දේ මෙතුමා විසිනි. කතරගම පූජා භූමි සංවර්ධනය හා කිරිවෙහෙර සංවර්ධන කටයුතු ආදියේ මූලිකත්වය දරමින් ද ස්වකීය ධන පරිත්‍යාගයෙන් සංවර්ධන ක්‍රියාවලීන් සිදුකරමින් ද එතුමා විසින් සිදු කරන ලද සේවය අපරිමිතිය. ‘ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපතිවරයා ලෙස ද එතුමා කටයුතු කළේය.

කළුතර බෝධි පරිශ්‍රය පුණ්‍ය ක්ෂේත්‍රයක් ලෙස සංවර්ධනය කොට රටට දායාද කිරීම පමණක් වුව ද එතුමාගේ ශ්‍රී නාමය සදාතනිකව ගෞරවයට පාත්‍රවීමට ප්‍රමාණවත් බව නැඟෙන්නේ බෝධි භාරකාර මණ්ඩලය විසින් සිදු කරන ජාතික හා ආගමික මෙහෙවර නිසාය. අද ඒ සියලු සේවාවන් සිදු කරනු ලබන්නේ බෝධි භාරකාර මණ්ඩලයේ වර්තමාන සභාපති දේශමාන්‍ය අජිත් ද සොයිසා මැතිතුමන්ගේ සංවිධානයෙනි. දිනපතා සම්බුද්ධ පූජා වන්දනාවන් ද, පෝදා සීල භාවනා වැඩසටහන් හා ධර්ම දේශනා පැවැත්වීම ද දහම් පාසල් ගුරු පුහුණු, පිරිවෙන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අධ්‍යාපන උපකරණ පූජා, එසේම ප්‍රාචීන විභාග සඳහා අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට ශිෂ්‍යත්ව ප්‍රදානය ආදී අධ්‍යාපන මෙහෙවර ද, දුෂ්කර අධ්‍යාපන ආයතන සඳහා පුස්තකාල පහසුකම් සැපයීම, වැඩිහිටි හා ළමා නිවාස ව්‍යාපෘති ලබාදීම ආදී සමාජ සත්කාරක මෙහෙවර ද අතිශයින්ම ප්‍රශස්ථය. ඊට අමතරව විහාරස්ථාන සංවර්ධනය, භික්ෂූන් වහන්සේ සඳහා වෛද්‍ය ආධාර ලබාදීම, ආදාහන පූජෝත්සව සඳහා වියදම් දැරීම ආදී කටයුතුද සිදු කරනු ලබයි.

තුන් නිකායේම අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීම් කරමින් ශාසන චිරස්ථිතිය අපේක්ෂාවෙන් කටයුතු කරන ඒ මහා දානපති පරපුරේ වර්තමාන නායකත්වය උසුලන දේශමාන්‍ය අජිත් ද සොයිසා මැතිතුමා ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ සභාපති ධුරය දරන අතර, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්ෂක සභාවේ ජාතික සංවිධායක ධුරය දරමින් කටයුතු කරයි. එසේම කොළඹ මියුසියස් කාන්තා විද්‍යාලයීය පාලක සභාවේ සභාපති ධුරය දරන්නේ ද එතුමා විසිනි.