රටේ ප්‍රතිරූපය පිළිබිඹු වන ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ඕනෑ-වගකීම පැවරෙන්නේ ඔබටයි – ජනපති මාතර දී කියයි

– රට ගොඩනඟා මිස අප ආපසු හැරෙන්නේ නෑ
– මහ කන්නයේ වී මිල දී ගෙන රජයේ ගබඩා පුරවනවා

අපට මිනිසුන්ගේ ආදරය හැර වෙන මොකුත් එපා 
– මාතර කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති

සියලු දෙනාම ආදරයෙන් බැඳෙන රටක් ගොඩනඟමු 
– මාතර අපේක්ෂිකා සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

රටේ ප්‍රතිරූපය පිළිබිඹු වන ආකාරයේ ආදර්ශවත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පෙරේදා (30) පැවති ජන රැලියට සහභාගි වෙමිනි. ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය සඳහා ජාතික ජන බලවේගය විසින් මෙය සංවිධාන කර තිබිණ.

එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

ඉතිහාසයේ මැතිවරණ සම්බන්ධයෙන් විමසීමක් කළොත්, බලය තිබෙන අය අනෙක් පාක්‍ෂිකයන් බියවැද්දීමේ කැත පන්නයේ ප්‍රචාරක ව්‍යාපාරයක් තිබුණා. ලංකාවේ පළමුවතාවට ඒ කැත පන්නයේ දේශපාලනය අවසන් කරමින්, ඉතාමත් සාමකාමී දේශපාලන ව්‍යාපාරයකට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ ඉඩ සලසා දී තිබෙනවා. සෑම පැත්තෙන්ම දියුණු රාජ්‍යයක් බවට මේ රට ඉදිරියට ගෙන යෑමේ සැබෑ අවශ්‍යතාවක් ජාතික ජන බලවේගයට තිබෙනවා. චණ්ඩිකම්වලින් ඡන්ද කරන්න නැවත කිසි දවසක මේ රටේ ජනතාව ඉඩ තබන්නේ නැහැ. මාතර ජනතාව බිය කර තර්ජනය කර මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් වූ යුගයක් තිබුණා. මාතර පමණක් නොවෙයි. ලංකාවේ කොතැනකවත් පුරවැසියන් බිය කරන දේශපාලනයකට, චණ්ඩින්ට ඉඩක් නැහැ. අප ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා. තමන්ගේ මතය කියන්න අවස්ථාව ඉහළින්ම තහවුරු කර තිබෙනවා. නමුත්, ඇතැම් කණ්ඩායම්වලට රැස්වීමක් කර ගන්න බැරි වුණාට අපට කරන්න දෙයක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන්ගේ නොහැකියාව පිළිබඳ ප්‍රශ්නයක්.

අප ඡන්ද ව්‍යාපාරය කරන්නේ අනෙකා දිහා බලාගෙන නොවෙයි. ජනාධිපතිවරණයේ දී අපට දුන් ජයග්‍රහණය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න මේ මාසේ 14 වැනිදා මැතිවරණයේ දී මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන එකයි අපේ වැඩේ. අනෙක් කට්ටිය කරන වැඩ අපට වැඩක් නැහැ. මාතර දිස්ත්‍රික්කයෙන් ශක්තිමත්ම ජනවරමක් මාලිමාවට ලබා දෙන බව විශ්වාසයි. භූමියේ රැස්වීමක් කර ගන්න බැරි අය රූපවාහිනියේ පැරැණි කිලිටි ප්‍රචාර ගෙන යමින් සිටිනවා. ආර්ථිකය පිළිබඳව සංවේදී කරුණු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය කරමින් සිටිනවා.‘ආණ්ඩුව මුදල් අච්චු ගහයි’ කියා මුලින් ප්‍රචාරය කර ඒ නාළිකාවම ඊළඟට අහනවා.“ආණ්ඩුව මුදල් අච්චු ගැහැව්වාද?” කියලා. “ඊළඟට මුදල් අච්චු නොගැසූ බව පවසයි”යනාදී වශයෙන් පැරණි, කිලිටි, අවලස්සන ඇඳුම් තවමත් ඉවත් නොකර සිටිනවා. අප ඔවුන්ට ආරාධනා කරනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ඇඳ ගන්න කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ දී මාධ්‍යවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරය නිසි පරිදි ඉටු කරාවි කියන බලාපොරොත්තුව අපට තිබෙනවා.

පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් පිළිබඳව වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් ඉතාමත් සැලසුම්සහගතව ජනතාව කලබලයට පත් නොවන ලෙස සංචාරක ව්‍යාපාරයට බාධා නොවන ලෙස පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර ගත්තා. බුද්ධි අංශ තොරතුරක් ආවාම ආණ්ඩුව නිවැරැදිව ක්‍රියා කරන්නේ එහෙමයි. මාතර එක්කෙනෙක් කෑගහනවා, මාධ්‍යයට නොකීවේ ඇයි කියලා. එයා ගිහින් මාතර නැත්නම්, මිරිස්සේ මුර කරන්නද? නිසි ආරක්‍ෂක පියවර අරගෙන සැකකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමටත් අප සමත් වුණා. එහෙත්, ලෝකයේ යුද ගැටුම් තත්ත්වයක් වර්ධනය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලෝකය පුරා අනතුරක් නිර්මාණය වී තිබෙනවා. එවැනි අනතුරක් ලංකාවේ ඇති නොවීමට ක්‍රියා කිරීමේ වගකීම නිසි ලෙස අප භාරගෙන ක්‍රියා කරනවා. එසේ තිබිය දී, එක් නාලිකාවක් මුළුමනින්ම අසත්‍ය ප්‍රචාර ගෙන ගියා. ඉන්දියාවෙන් තොරතුරු ලැබුණු බවත්, ප්‍රහාරය සඳහා මුදල් ලබා දී තිබූ බවත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළා.

මේ අසත්‍ය ප්‍රචාරවල අරමුණක් තිබෙනවා. අප බලය අරගෙන ගෙවී ගිය කෙටි කාලයේ අපට ස්ථාවර බලය තිබෙන්නේ සීමිත ස්ථාන කිහිපයක. ජනාධිපති ධුරය, කැබිනට් මණ්ඩලය වශයෙන් ඉතාම කුඩා පාලන ඒකකයක් අපට තිබෙන්නේ. මහමැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. පළාත් සභා සහ පළාත් පාලන ආයතන අක්‍රියයි. නමුත්, තුන්දෙනෙක් සහිත කැබිනට් මණ්ඩලය පවතින නිසා බලය ශක්තිමත් ආකාරයට වර්ධනය කර ගැනීමට ඉඩ නොදී දුර්වල කරන්න ඔවුන් අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. අප, අකර්මණ්‍ය කර අඩාළ කර අරාජික කිරීමේ අරමුණින් ඔවුන් මේ අසත්‍ය ප්‍රචාර ගෙන යනවා.

ආර්ථිකයේ අස්ථාවරභාවය සහ සමාජ අනාරක්‍ෂිතභාවයක් සම්බන්ධයෙන් මාධ්‍ය නාළිකා පමණක් නොවෙයි. දේශපාලනයේදීත් අසත්‍ය තොරතුරු කියමින් සිටිනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට තීරණය කර සල්ලිත් වෙන් කළ බව කියනවා. අනධ්‍යයන කාර්යමණ්ඩලයේ වැටුප් ප්‍රශ්නයකට විසඳුම් නොදී මාස තුනක් විශ්වවිද්‍යාල වහලා තිබුණා. රනිල්, ඔයාගේ කතා වැඩක් නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩි කරන ක්‍රියාමාර්ග ගන්නවා. ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් රාජ්‍ය සේවකයන් ලබා දී තිබීම නිසා ඔවුන් බිඳවට්ටන අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. ඒ වගේම මාස දෙක, තුනකින් ආණ්ඩුව වැටෙන බවටත් ප්‍රචාර ගෙන යනවා. රට ගොඩනඟා මිස අප නතර නොවන බව ඔවුන්ට මතක් කරනවා.

රට පිළිබඳ ප්‍රතිරූපය පාර්ලිමේන්තුවෙන් පිළිබිඹු වන ආකාරයේ ආදර්ශවත් පාර්ලිමේන්තුවක් වෙනුවෙන් එය පිරිසුදු කිරීමේ මහා කාර්යභාරය අප ඉටු කරනවා. ඒ වෙනුවෙන් මේ මාසේ 14 වැනිදා විශාල කාර්යභාරයක් ජනතාවට පැවරී තිබෙනවා. මේ වන විට තුන්දෙනකුගෙන් පවත්වාගෙන යන ආණ්ඩුව වෙනුවට දෛනික කාර්යයන් නිසි පරිදි අඛණ්ඩව පවත්වාගෙන යමින්, ජාත්‍යන්තරය ජයගත හැකි ස්ථාවර පාලනයක් පිහිටුවා ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගන්නත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අණපනත් සම්මත කර ගන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ වගේම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියත් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යසාධක බළකායක් ඉදිරිපත් කරනවා. කාන්තාවන්ට සහ සංචාරකයන්ට පිරිසුදු වැසිකිළි පද්ධතියක් ස්ථාපනය කරන්න ඕනෑ. ඒ වගේම අපේ රටේ පුරවැසියන්ට එකිනෙකා කෙරෙහි ගෞරවයක් ඇති වන ආකාරයට ආචාර-සමාචාර කිරීමේ සංස්කෘතියක් ගොඩනඟන්න ඕනෑ. නීතියට සහ විනයට ගරු කරමින්, පරිසරයේ පිරිසුදුකමත්, සමාජ සංස්කෘතික ජීවිතයේ පිබිදීමකුත් ඇති කිරීම වෙනුවෙන් හැම කෙනකුටම දායක විය හැකි අරමුදලක් පිහිටුවනවා. බාහිර පරිසරයේ පිරිසුදුකමත්, විනයක් සහිත සමාජයක් මෙන්ම සාධාරණව නීතිය ක්‍රියාත්මක කරන රටක් කරනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරමින්, කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. සහල් ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ස්ථාවර කරමින්, නිෂ්පාදකයාත් රැක ගන්නා ක්‍රියාමාර්ග දැනටමත් සැලසුම් කර අවසන්. එළැඹෙන මහ කන්නයේ දී රජයේ ගබඩා සියල්ල පිරෙන්න වී මිල දී ගන්නවා. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විදිහට අත්තනෝමතික ලෙස සහල් වෙළෙඳපොළ හසුරුවන්න අප ඉඩ දෙන්නේ නැහැ.

හිටපු නායකයන් පාස්පෝට් පෝලිම් ඇති කිරීම, ආහාර මිල ඉහළ පහළ යාම වගේම ආපදා කළමනාකරණයේ දී කාර්යක්‍ෂම නොවීම ආදී පොදු ජනතාවගේ ගැටලු ගොඩගසා තිබෙනවා. මහජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් හැටියට ජාතික ජන බලවේගය ක්‍රමානුකූලව නිසි සැලසුම් ඉදිරියට ගෙන යනවා. අපේ ආණ්ඩුවේ බලය පවතින්නේ විධායක ජනාධිපති ධුරය, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ සිටින සංඛ්‍යාව මත නොවෙයි. ජනතාව මොන තරම් ප්‍රමාණයකින් ආණ්ඩුවත් සමඟ ඉන්නවාද යන්න මතයි. ජනාධිපතිවරණයේදී අපට ඡන්දය දුන් අයටත් වඩා වැඩියෙන් මෙවර මහමැතිවරණයේදී අපට ඡන්දය දෙනවා. එම ආණ්ඩුව පිහිටුවීම වෙනුවෙන් මහමැතිවරණයේ දී ශක්තිමත් බලයක් ජාතික ජන බලවේගයට ලබා දෙන්න.

සිවිල් ඉංජිනේරු, ව්‍යවසායක, මාතර දිස්ත්‍රික් අපේක්‍ෂක අර්කම් ඉල්ලියාස් මහතා –

මෙතෙක් රට පාලනය කළ අය හැමදාමත් කළේ අප ප්‍රදේශ වශයෙන් ජාති හෝ ආගම් වශයෙන් බෙදා වෙන් කිරීමයි. ඔවුන් පාලනයට ආ හැම අවස්ථාවකදීම අපට බියක් දැනුණා. ජාතික ජන බලවේගය ලංකාවේ පළමුවතාවට බලයට පත් වන්නේ පොදු ජනතාවට බලපාන ආහාර, සෞඛ්‍ය, ප්‍රවාහන වගේම භාෂා ප්‍රශ්න විසඳීමටයි.

ලෝකයේ අනෙක් ඕනෑම රටක අභ්‍යන්තර සිවිල් අරගලවලින් පසුව ජාතික සමගිය නිර්මාණය කර ගනිමින් දියුණුව කරා පියනැඟුවත්, අපේ රට ඒ මාර්ගයේ ගියේ නැහැ. 2009 යුද්ධය අවසන් කළ පසු සාමය ඇති කරමින්, රට දියුණු වේයැයි ජනතාව විශ්වාස කළත්, ඒ සඳහා අවස්ථාව ගන්න සුදුසු නායකයකු සිටියේ නැහැ. චන්ද්‍රකුමාර වික්‍රමරත්න කවියා එක් අවස්ථාවක ලියා තිබූ කවියක් මට මතක් වෙනවා.

“එකම අපායක අප හැම දැවෙන සඳ

වෙනම අපායක ඉන්නට පතයි නුඹ

අපා දෙකක එක කිරුළට යුද වදින සඳ

කඳුළ කඳුළමය කාගේ වුණත් මට”

මාතර දිස්ත්‍රික්කය ජාතිය සමගිය සම්බන්ධයෙන් විශේෂයි. අපි මේ දිස්ත්‍රික්කයෙන් මුළු රටටම ජාතික සමගියේ පණිවුඩය ගෙන යමු.

රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා –

පසුගිය ජනාධිපතිවරණයේ දී දකුණෙන් ඉදිරියෙන්ම සිටිමින්, ජයග්‍රහණය අපි පෙන්නුවා. දියවන්නාව පිරිසුදු කිරීමේ දැවැන්ත ශ්‍රමදානය එළැඹෙන 14 වැනිදා ආරම්භ කරනවා. ඒ මැතිවරණයෙන් පත් වී එන අයගෙන් යම් පිරිසක් ශුද්ධ කළ යුතු අයත් සිටිය හැකියි. එය ශුද්ධ කිරීම වෙනම වගකීමක් සහිත කටයුත්තක්. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට එරෙහිව නැඟූ මඩ, අවලාද සියල්ල බොරුවීමෙන් පසු දැන් වෙනත් ප්‍රචාර පටන්ගෙන තිබෙනවා.14 වැනිදා වෙනකම් මේ වාගේ ප්‍රචාර ඔවුන් ගෙන යන බව පැහැදිලියි. මේ රටේ ජනතාව ඒ බොරු ප්‍රචාරවලට නොරැවටෙන බව දැන් ස්ථිරයි. මාතර දිස්ත්‍රික්කයේ ආසන හතෙන්ම මාලිමාව ජයග්‍රහණය කරවන්න ඒකරාශි වෙමු කියා ඉල්ලා සිටිනවා.

ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති මහතා-

අනුර සහෝදරයා ජනාධිපති වූ පසු මාතර ජනතාව හමුවන පළමු අවස්ථාව මේක. මාතරින් විශේෂත්වයක් කර මේ රට පොහොසත් රටක් බවට පත්කර ලස්සන ජීවිතයක් ගොඩනැඟීමට අපි අනුර සහෝදරයාට දෙන තෑග්ග මොකක්ද? මාතරින් වාර්තාවක් තියලා ඉහළම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබාදීමේ හැකියාව අපට තිබෙනවා. දකුණු පළාතෙන් පළමු වතාවට සිංහල සින්දු කියන කිරිල්ලිය, සරෝජා පෝල්රාජ් සහෝදරිය දමිළ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යවනවා. ඒ වගේම වැලිගම විතරක් නොවෙයි. මාතර දිස්ත්‍රික්කයේම ආදරය දිනාගත් ඉල්ලියාස් සහෝදරයා සියලුම තරුණ ජනතාවගේ ආදරය දිනාගනිමින් ඉදිරියට යනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාගේම සහෝදරත්වය සහ ආදරය දිනා ගැනීමේ නියෝජිතයන් වේදිකාවේ ඉන්නවා. කුමරප්පෙරුම සහෝදරයා මුලදී අකමැති වුණත් අපි බලෙන් අරගෙන ගැටගහලා යන්න නොදී තියාගත්තා. ඒ වගේම අවුරුදු දහයක් පහළොවක් සහ ඊට වැඩි බොහෝ කාලයක් පුරා අපි පිටිපස්සේ ඉඳන් ගැම්ම දුන්නු බොහෝ පිරිසක් නියෝජනය කරමින් වරදාන වරප්‍රසාද කිසිවක් නොතකා කටයුතු කරමින් සිටිනවා. අපි හැමෝම දකින සිහිනය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් හැමදාමත් සටන් කළ විශාල පිරිසක් අප පිටුපසින් නොසැලී ඉන්නවා.

2020 මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් අපට එක් මන්ත්‍රී ධුරයක්වත් ගන්න නොහැකි වූ අවස්ථාවේ මාතර පොළේ වඩේ බදින බව දැක්වෙන මගේ පින්තූරයක් සහිත පෝස්ට් එකක් ෆේස්බුක් එකේ දමා තිබුණා. ඔහුගේ එම පෝස්ට් එකෙන් තමයි අපි ධෛර්යය සහ ශක්තිය වඩාත් වැඩියෙන් ගත්තේ. ඒ පෝස්ට් දාපු සහෝදරයාට බොහොම ස්තුතියි.

මාතර දිස්ත්‍රික්කයට පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 7ක් තරග කරනවා. නමුත් ඒ කිසි කෙනෙකුගේ කාර්යාල නැහැ. ජනහමු නැහැ. රැස්වීම් නැහැ. හැමදෙයක්ම තිබෙන්නේ මාලිමාවෙන් විතරයි. හිටපු කැබිනට් ඇමැතිවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට ඒ අයගේ පුතාලට කිසිම ජනහමුවක් පවත්වන්න හැකියාවක් නැහැ. කථානායකලා සහ ඒ අයගේ පුතාලත් ඉන්නවා. ඒ කිසිවකුටත් ජනතාව අතර ඉඩක් නැහැ. ඒ නිසාම සමහර අය ජාතික ලැයිස්තුවට පැනලා ඉන්නවා. ඔවුන්ගේ දේශපාලනය අවසන් කරන විට ජාතික ජන බලවේගය වැඩ ආරම්භ කර තිබෙනවා. නන්දා මාලිනියගේ පවන ප්‍රසංගයේ සමහර ගීත අහනකොට අපේ මේ ජීවිතයේදී යථාර්ථයක් කර ගත හැකිවේ යැයි කවදාවත් හිතුවේ නැහැ. අපි දේශපාලනය ආරම්භ කළේ අප විසින් පවරා ගත් කොටස අවසන් කරන්න. සුනිල් ආරියරත්න ලියූ ඒ ගීතයේ තිබෙන්නේ “රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කඤ්ඤම් – පෙරහර කරඤ්ඤම් – සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤම්” කියන ගීතයයි. එහි අවසානයේ තිබෙන්නේ “අප සම බිමක රඳවන සොහොයුරාණෝ – රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ” කියලයි. එදා 87/90 කාලයේ දඟගෙයි දැමූ වධකාගාරවල අනේක දුක්විඳි සහෝදර සහෝදරියන් ඇතුළු මේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රාර්ථනාව අප සම බිමක රඳවන පළමු පියවර තබා තිබෙනවා. ඒ සියලු ජයග්‍රහණ අත්කර දුන්නේ මේ ජනතාව. බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශ කළ, ලෝකය ඉදිරියේ අවමානයට පත්වූ රටට අද ආඩම්බරයක් ගෞරවයක් සහ බලාපොරොත්තුවක් දී තිබෙනවා.

මාලිමාවේ හොඳම උගතුන් බුද්ධිමතුන් සහ දක්ෂයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. ඒ වෙනුවෙන් ඉදිරි සති දෙකේදීත් අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ යුතුයි. මාතර ජනතාවට ආශීර්වාදයක් ලෙස ගිං-නිල්වලා යෝජනා ක්‍රම යොදාගෙන සංචාරක සහ ධීවර කර්මාන්තයත් ඉහළටම ගොඩනංවමින් රට පොහොසත් කරන ආර්ථිකයේ විශාලතම පංගුව මාතර දිස්ත්‍රික්කයෙන් ලබාදෙනවා. අපේ ඉතිහාස කතාව අනාගතයේ ලියන දවසක 2024 වන විට පාපතර පාලකයන් නිසා ඖෂධ විෂ වී ජනතාව මිය යමින් සිටි අවස්ථාවක ජනතාව එකතු වී නව පුනරුද යුගයක් ආරම්භ කළ බව අභිමානයෙන් ලියාවි. අපට මිනිසුන්ගේ ආදරය හැර වෙන මොකුත් එපා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මාතර දිස්ත්‍රික් අපේක්ෂිකා සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-

මාතර බෝධීන් වහන්සේ ඉදිරිපිට මේ පිටියේදී අපි නොයෙක් වර හමුවෙලා ඇති. නමුත් මේ රැලියේදී අප හමුවන්නේ අපේ ආදරණීය අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවූ විජයග්‍රාහී ජනතාවක් හැටියටයි. එය හුදෙක් ජයග්‍රහණයක් පමණක් නොවෙයි. සමාජ පරිවර්තනය යුගයක පළමු පියවරයි. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම මේ රටේ පුරවැසියෝ. අපට ඕනෑ වුණේ හොඳම රටක්. අපේ දරුවන්ට සුරක්ෂිත, විනයගරුක, නීතිගරුක, ආර්ථික වශයෙන් සුරක්ෂිත රටක්. රට ගොඩනැඟිය හැකි වැඩපිළිවෙළක් තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි. විනයගරුක රටක් වගේම පිරිසුදු රටක අපි හැමදෙනාටම සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර ගත යුතුයි. “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”තේමාවෙන් මේ රට ගොඩනඟා අපේ දූ දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ලබාදෙන්න අපි සියලුම දෙනා ඒකරාශී වී සිටිනවා.

දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කෙරෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේම අයිතීන් සුරැකෙන රටක් ගොඩනඟමු. සියලු දෙනාම ආදරයෙන් බැඳෙන රටක් ගොඩනඟමු.

ජාතික ජන බලවේගයේ කෘෂිකර්ම ප්‍රතිපත්ති කමිටුවේ සාමාජික, රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා –

ජාතික ජන බලවේගය කෘෂිකර්මය නඟාසිටුවීමට සැලකිය යුතු කාලයක් වෙහෙස මහන්සි වෙමින් සැලසුම් සකස් කළා. ජයග්‍රහණය කිරීමෙන් පසු ක්‍රියාත්මක කිරීමේ වගකීම අපට පැවරී තිබෙනවා. විවිධ හේතු නිසා අපේ ගොවි ජනතාව අසීරු තත්ත්වයකට පත්වී සිටිනවා. නමුත් දේශීය අවශ්‍යතාවලට පමණක් නොවෙයි. විදේශ විනිමය ලබාගැනීම වෙනුවෙන් අපනයනය කළ හැකි තරමට කෘෂිකර්මාන්තය සංවර්ධනය කළ හැකියි. ඒ වෙනුවෙන් විදේශ තානාපති සේවය මේ දක්වා යොදා ගත්තේ නැහැ. දේශපාලකයන්ගේ ඥාතීන් වූ තානාපති සේවයේ පිරිස් සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටියා. ඔවුන් අපේ කුරුඳු, ගම්මිරිස්, එනසාල්, තේ, වැනි කෘෂිකාර්මික නිෂ්පාදනවලට ලෝක වෙළෙඳපොළේ නව ඉල්ලුමක් සොයා ගත්තේ නැහැ. ඒ නිසා අපේ තරුණ පරපුර කෘෂිකර්ම ක්ෂේත්‍රය අත්හැර ගියා.

මාතර දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා-

ගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර සහෝදරයා ජනතාවට ලබාදුන්නේ මේ රට ලෝකයේ නිසි තැනට ඔසවා තබන ප්‍රතිඥාවයි. මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කර, නිවැරදි සංවර්ධන මාවතකට ගෙන යන බව ඔහු ප්‍රකාශ කළා. දේශපාලන බලය යොදවා මූල්‍ය අපරාධ කළ සියලුම දෙනා නීතිය ඉදිරියට ගෙන එන බව ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් කොල්ලකා ගත් මහජන ධනය ආපසු ලබාගැනීමට ක්‍රියාකරන බව ප්‍රකාශ කළා. විධායකයට අවශ්‍ය ඒ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ප්‍රබල බලයක් සහිත පාර්ලිමේන්තුවක් මහමැතිවරණයෙන් පත්කර ගන්න ඕනෑ.

මළ ගෙදරට ඇවිත් කැරම් ගහපු අය, දාම් ඇද්ද අය නොවෙයි පාර්ලිමේන්තුවට පත්කර ගත යුත්තේ. පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව වගකීම් දරන්න සුදුසු අය පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. අපේ රටේ ඉතිහාසය අලුතින් ලියන්න සුදුසුම පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යවමු.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මුනීර් මුලෆ්ෆර් මහතා –

පසුගිය ජනාධිපතිවරණයේදී ධන බලය, රාජ්‍ය බලය, මාධ්‍ය බලය ඇතුළු සියලු බලයන් තබාගෙන අපට එරෙහි කණ්ඩායම දිනන්න උත්සාහ කළා. නමුත් අපි විශ්වාස කළේ ආදරණීය ජනතාවගේ බලය ගැන පමණයි. ජනාධිපතිවරණයේදී ජනතාවගේ බලයෙන් ජයග්‍රහණය කළා වගේම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී විජයග්‍රහණයක් ලබන බවට සැකයක් නැහැ. ඒ නිසා කලබල වුණු අය විවිධ ප්‍රචාර යවනවා. එක පිරිසක් අපි සල්ලි අච්චු ගහනවා කියනවා. රට පුරා ගියත් අපට විපක්ෂයේ ජනහමුවක් නම් සොයා ගන්න බැරි වුණා. මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයන්, වෙනත් අපරාධකරුවන් මේ තරම් බය වුණු යුගයක් ඉතිහාසයේ කවදාවත් තිබිලා නැහැ.

මේ රටේ ආදරණීය ජනතාව අනුර කුමාර දිසානායක සහෝදරයා ඉහළින්ම ජයග්‍රහණය කර තිබෙනවායිද පැවසීය.