ණය ගැනීම යනු මුදල් මුද්‍රණය කිරීමක්ද?-ආර්ථිකය ස්ථාවර වීම වර්ධනයේ මූලික අදියරයි

පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, “වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට මෑත කාලයේ වාර්තා පළවී ඇති අතර, මෙම වාර්තා පදනම් විරහිත ඒවා වේ. මහ බැංකුව විවිධ වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය කටයුත්තක් වේ. වෙළඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකිය” යනුවෙනි.

ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කළ නිර්දේශ අතර මහ බැංකු පනත සුවිශේෂී සංශෝධනයකි. 2023 අංක 16 දරන මහ බැංකු පනත ස්ථාපිත කිරීමට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආර්ථිකයට මුදල් එක්කල එක් ක්‍රමයක් වූයේ මහ බැංකුව මඟින් රජයේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළෙඳපොළ හරහා මිලදී ගැනීමයි. නව පනතෙහි අන්තර්ගත නිර්දේශ අනුව මූල්‍ය ප්‍රතිපත්තිවලට පිටතින් ගොස් මුදල් අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මුදල් අච්චු ගැසීම සිදුකිරීම වළකා ඇත. රජයේ ඉල්ලීමක් අනුව මුදල් මුද්‍රණය කළ හැක්කේ රටෙහි උද්ගතවී ඇති සුවිශේෂී ආරක්ෂක ගැටලුවකදී හෝ ගෝලීය මට්ටමේ සෞඛ්‍ය ගැටලුවකදී පමණක් බවට සීමාවී තිබේ. මහ බැංකු පනතෙන් මහ බැංකුවේ කාර්යයන් නූතන ගෝලීය මූල්‍ය වෙළෙඳපොළේ අවශ්‍යතාවන්ට අනුව යාවත්කාලීන කිරීම ප්‍රමුඛතම අරමුණ විය.

මේ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් නීති පනත යාවත්කාලීන කිරීම, මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සහ තිරසර පදනමින් මිල ස්ථායීතාව සහතික කිරීම, මූල්‍ය අංශයේ අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ මහ බැංකුවේ පරිපාලනය අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූලව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරිණි.

රටක මහ බැංකුවේ මූලික කාර්ය වන්නේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමයි. ආර්ථිකය යනුවෙන් හඳුන්වන්නේ පුද්ගලයින්ගේ පරිභෝජන රටාවයි. රටක ආර්ථික තත්ත්වය මනිනුයේ යම්කිසි වර්ෂයකදී රටක නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ හා සේවාවල මුළු එකතුවයි. දළ දේශීය නිෂ්පාදිතය ලෙස හඳුන්වන්නේ එයයි. මෙසේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කෙරෙන්නේ පරිභෝජනය සඳහායි. එහි රට තුළ කෙ‍ෙරන පරිභෝජනය සහ රටින් පිට (අපනයන) පරිභෝජනය ද නියෝජනය වෙයි. ජීවත්වීම යනුවෙන් අප සිදුකරනුයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමත් ඒවා පරිභෝජනය කිරීමත් ය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අඛණ්ඩ ක්‍රියාවලියකි. රටේ ජනතාවගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි භාණ්ඩ හා සේවා නොමැතිවිට ඒවා ආනයනය කිරීමට සිදුවේ. මේ ආනයනය සඳහා අවැසි මුදල් ලැබෙන්නේ රට තුළ කෙරෙන නිෂ්පාදන අතිරික්ත අපනයනය කිරීමෙනි. මෙසේ අපනයනය කර ලැබෙන ආදායමට වඩා වැඩි වියදමක් ආනයනය කරන භාණ්ඩ හා සේවාවන් සඳහා වැයවීම දශක ගණනාවක් තිස්සේ අප මුහුණ දෙන ගැටලුවයි.

මුදල් මුද්‍රණය කිරීම යනු කුමක්ද?

මුදල් මුද්‍රණය යන්නෙන් අදහස් කරන්නේ මහ බැංකුව ආර්ථිකයට අලුතින් මුදල් නිකුත් කිරීමයි. ආර්ථිකයට අලුතින් මුදල් එකතු කිරීම යනු, සංචිත මුදල් හෙවත් පදනම් මුදල් නිකුත් කිරීමකි. මහ බැංකුවෙන් නිකුත් කරන මුදල් මත වාණිජ බැංකුවලට මුදල් මැවීමට ඇති හැකියාව නිසා මෙම පදනම් මුදල් අධිබලැති මුදල් ලෙසද හඳුන්වයි. මහ බැංකු ශේෂ පත්‍රයෙහි මෙම සංචිත මුදල්, මුදල් වගකීම සෙලස හඳුන්වයි. ආර්ථික කටයුතු පහසු කිරීම සඳහා 2024 වසර තුළ ආර්ථිකයට එක්කොට ඇති සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 147කි.

මුදල් මුද්‍රණය කිරීමක් පිළිබඳව සමාජ මාධ්‍යයන්හී පැතිරුණු කතා පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන පවසා තිබුණේ මහ බැංකුව ආර්ථික ස්ථායිතාව වෙනුවෙන් අනුගමනය කරනු ලබන විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මිස මුදල් මුද්‍රනය කිරීමක් කිසිසේත් සිදුවී තැති බවයි.

භාණ්ඩාගාර බිල්පත් මහ බැංකුව මඟින් මිලදී ගැනීම සහ විකිණීම සම්බන්දයෙන් සිදුකෙරෙන ක්‍රියාවලිය ඇතැම් පිරිස් මෙසේ වැරදි අර්ථකථනයන්ට හේතුවී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

භාණ්ඩාගාර බිල්පත් යනු මොනවා ද?

භාණ්ඩාගාර බිල්පත් යනුවෙන් හඳුන්වන්නේ රජය විසින් ලබා ගන්නා ණය උපකරණයකි. මේ ක්‍රමය මඟින් රජය විසින් වසරක කාලයක් සඳහා ණය ගැනීම සිදුකරනවා. වසරකට වඩා වැඩි කාලයක් සඳහා ණය ලබා ගැනීම සිදුකරන්නේ භාණ්ඩාගාර බැඳුම්කර මඟිනි. භාණ්ඩාගාර බිල්පත් වෙතින් ලබා ගන්නා ණය බොහෝ දුරට වැය කරන්නේ පරණ ණය හා පොලී ගෙවීමටයි. රජය උපයාගන්නා බදු ආදායම බොහෝවිට වෙන්වෙන්නේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට, රාජ්‍ය සංස්ථාවල පාඩු පියවීමට, සුබසාධන වියදම් මෙන්ම යටිතල පහසුකම් සඳහා වන වියදම් පියවා ගැනීමටයි. සෑම සතියකම අවස්ථා කීපයක් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන අතර සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් කල්පිරීමක්ද සිදුවෙයි. එසේ භාණ්ඩාගාර බිල්පත් කල්පිරීමේදී රජය විසින් ඒ මුදල ණය හිමියාට ගෙවිය යුතුයි. මෙසේ ගෙවීමට නියමිත මුදල් සොයාගැනීම සඳහා බොහෝවිට බැඳුම්කර නිකුත් කිරීම සිදුවෙයි.

භාණ්ඩාගාර බිල්පත් සඳහා පොලී ගෙවීම

මේ සඳහා පොලිය තීරණය වෙන්නේ වෙන්දේසියේදීයි. එහිදී ගැනුම්කරුවන්ට වෙන්දේසියට ඉදිරිපත් කරන භාණ්ඩාගාර බිල්පත් සඳහා ලංසු ඉදිරිපත් කළ හැකියි. මහ බැංකුව විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නා අයෙකු රජයට ණය ලබා දෙන්නේ ගෙවිය යුතු පොලිය අඩුකර ගැනීමෙන් පසුවයි. රුපියල් බිලියන 100ක මුදලක් 10% පොලියට ලබාගත්තේ නම් ලබාගන්නා අවස්ථාවේදී මහ බැංකුව වෙත ලැබෙන්නේ බිලියන 90ක් පමණි. නමුත් මහ බැංකුව විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පතෙහි මුහුණත අගය ලෙස සඳහන් වෙන්නේ බිලියන 100 කි.

පොලී අනුපාතය යනු ආර්ථිකයේ දිශානතිය තීරණය කිරීමට තරම් හැකියාවක් තිබෙන ඉතා ප්‍රබල දෙයකි. සුදුසු කාල පරිච්ඡේදවලදී පොලී අනුපාත ඉහළ දමමින් සහ පහළ දමමින් ආර්ථිකය නිවැරදි මාර්ගයේ රැගෙන යාමේ වගකීම එරට මහ බැංකුව සතු වෙයි. පොලී අනුපාත ආර්ථිකයක සෑම අංශයක් හා සමඟම ඍජුව සහ වක්‍රව බැඳී පවතින අතර ආර්ථිකයෙහි සංසරණය වන මුදල් සැපයුම පාලනය කිරීමෙන් උද්ධමනය පාලනය කිරීමත්, ඒ තුළින් ඇති විය හැකි අතුරු ප්‍රතිඵල වළක්වා ගැනීමත් අපේක්ෂා කෙරේ.

භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැක්කේ කාටද?

වාණිජ බැංකු, ප්‍රාථමික ගැනුම්කරුවන්, සේවක අර්ථසාධක අරමුදල මෙසේ වාණිජ බැංකු සහ ප්‍රාථමික ගැනුම්කරුවන් හරහා වෙනත් ඕනෑම කෙනෙකුට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට හැකියාව හිමිවෙයි.

ආර්ථිකයේ ප්‍රධානතම සාධක භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වයයි. මුලින් කී පරිදි පරිභෝජනයට අවැසි භාණ්ඩ හා සේවා ඵලදායී ලෙස නිෂ්පාදනය ඉහළ දැමීමට මෙම සාධක නිසි ලෙස කළමනාකරණය අත්‍යවශ වේ. දිගු කාලයක් තිස්සේ භූමිය, ශ්‍රමය සහ ව්‍යවසායකත්වය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා නිෂ්පාදනය සැලකියයුතු මට්ටමකින් අතිරික්තයක් නොපවතින අතර, ප්‍රාග්ධන අතිරික්තයක් නැති අතරම, ඊට විකල්පයක් වශයෙන් යොදාගත හැකි බාහිර ආයෝජන ලබා ගැනීම සඳහා වන ආයෝජන පරිසරයක් ඇති කර ගැනීමද දුෂ්කරවී තිබේ.

මෙම විෂම චක්‍රය බිඳිය හැක්කේ පළමුව උද්ධමනය අවම කරමින් පොලී අනුපාත ස්ථාවර තත්ත්වයක පවත්වා ගැනීම මඟිනි. මේ වන විට මහ බැංකුම එම කාර්යයන් මැනවින් ඉටුකරයි.

නිෂ්පාදන ආර්ථිකයක් කරා ක්‍රමානුකූලව ප්‍රවේශවීමට අවැසි ආර්ථික පසුබිම මේ අනුව ගොඩනැඟෙනු ඇතැයි අනුමාන කළ හැකියි.