2024/2025 වර්ෂයේ ශ්‍රී පාද වන්දනා වාරය ලබන දෙසැම්බර් මස 14 වැනි දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ කර 2025 මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනට පසු දිනෙන් නිමාවීමට නියමිත බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඬුල්ල රජමහා විහාරය හා රත්නපුර පොත්ගුල් රජමහා විහාරය යන උභය විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.
බෙංගමුවේ ධම්මදින්න නායක හිමියෝ මේ බව සඳහන් කළේ ඉකුත්දා (24) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති 2024/2025 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවේ මුලසුන හොබවමිනි.
මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නායක හිමියෝ මෙසේ ද සඳහන් කළහ.
“ගිය වසරේ (2023) මෙන්ම මෙවරත් ශ්‍රී පලාබද්දල මාර්ගය, හැටන්- නල්ලතන්නි මාර්ගය, බළන්ගොඩ මාර්ගය සහ කුරුවිට – එරත්න මර්ගය යන මාර්ග හතර ඔස්සේම ඓතිහාසික පැල්මඬුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරයේ සිට සිරිපා මළුව වෙත, සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ වැඩම කිරීමට නියමිතය. ඒ අනුව 2024 දෙසැම්බර් මස 13 වැනි දින උදෑසන වැඩම කිරීමට නියමිත සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමා වහන්සේ දෙසැම්බර් මස 14 වැනි දිනට යෙදී තිබෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දින සිරිපා මළුවේ තැන්පත් කිරීමට නියමිතය.
ශ්‍රී පාද වන්දනාවට වාරය සහ අවාරය ලෙස නම් කර ඇත්තේ වාර කාලයට බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සොබා දහමෙන් පවා ලැබී තිබෙන නිසයි. මීට අමතරව රාජ්‍ය ආයතන හා සිවිල් සංවිධාන එක්ව අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා. විදුලි බලය, සනීපාරක්ෂක පහසුකම්, සෞඛ්‍ය පහසුකම් මේ අතර ප්‍රදානයි. අවාර කාලයට මේ එකක්වත් නෑ. සොබාදහමටත්, සතා සිවුපාවුන්ටත් අවාර කාලයේ නිදහසක් ලැබෙනවා. ඒ නිසයි අවාර කාලයේදී සිරිපා වන්දනාවේ පැමිණීම එතරම් සුබ නැති බව පෙන්වා දෙන්නේයැයිද පැවසූහ.”
රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා –
“ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට යන බැතිමතුන් විවිධ කැළි කසළ සිරිපා අඩවියට බැහැර නොකළ යුතු බව කීය. නොදිරන කසළ මඟින් සුන්දර රමණීය සිරිපා අඩවියට වන හානිය අතිවිශාලයි. එමගින් ජෛව විවිධත්වයට, විශාල ප්‍රදේශයකට ජලය සපයන ජල මූලාශ්‍රවලට වන හානිය අප්‍රමාණයි. ඒ නිසා කිසිලෙසකින්වත් පරිසරයට හානි වන අන්දමේ ක්‍රියාකාරකම්වලින් හා කැළි කසළ බැහැර කිරීමෙන් වළකින ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. රත්නපුර දිස්ත්‍රික්කය මේ වන විටත් සීරෝ ප්ලාස්ටික් දිස්ත්‍රික්කයක් ලෙස නම් කර ඇති බව සඳහන් කළ දිසාපතිවරයා, සමන් දෙවියන්ගේ අඩවිය ප්ලාස්ටික් කසළ හා පොලිතීන් කසළවලින් තොර කලාපයක් කිරීමේ වගකීම සෑම පුද්ගලයකුම සතු වන දෙයක්.”
දිසාපති වසන්ත ගුණරත්න මහතා විසින් සිරිපා වාරය පුරා සිරිපා මළුව වෙත ආරක්ෂාව සපයන ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලින් මෙන්ම විවිධ සේවා සපයන ආයතන වන විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග අමාත්‍යාංශය, සෞඛ්‍ය අංශය, ප්‍රවාහන අංශය, පළාත් පාලන ආයතන ඇතුළු සියලු අංශ හා ආයතන වෙත පැවරී ඇති වගකීම් සහ වගකීම් ඉටු කරන ආකාරය පිළිබඳවද විමසා බැලීමක්ද සිදු කරන ලදි.
මෙම අවස්ථාවට රත්නපුර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී කහවත්තේ සේනින්ද ස්වාමීන් වහන්සේ, සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් මිගාර ජයසුන්දර, සබරගමුව පළාත් මාර්ග අමාත්‍යාංශ ලේකම් ඒ.එස්.ජේ. ගොඩැල්ලවත්ත, සබරගමුව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් දිලිනි ධර්මදාස, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න, රත්නපුර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරු, කුරුවිට යුද හමුදා කඳවුරෙහි නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ පිරිසක්ද සහභාගී වූහ.