ආර්ථි­කය ගොඩ­නැ­ඟී­මට බැංකු සහ ව්‍යව­සා­ය­කයා රැකෙන තීන්දු ගන්නවා-බැංකු සංග­මයේ සාමා­ජි­ක­යන් හමුවේ ජන­පති කියයි

රටේ  ආර්ථි­කය ගොඩ­නැ­ඟීම සඳහා බැංකු පද්ධ­තිය සහ ව්‍යව­සා­ය­කයා යන දෙපා­ර්ශ්ව­යම ආරක්ෂා වන පරිදි තීන්දු තීරණ ගන්නා බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ජනා­ධි­පති එසේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා බැංකු සංග­මයේ සාමා­ජි­ක­යන් ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී පෙරේදා (29) හමු වූ අව­ස්ථා­වේ­දීය. සියලු  ජන­තාව සුර­ක්ෂිත වන ආකා­ර­යට  රටේ අවි­ධි­මත් ආර්ථි­කය  ක්‍රමා­නු­කූ­ලව විධි­මත් කිරී­මට පිය­වර ගැනීම සහ ශ්‍රී ලංකාව කඩි­න­මින් ඩිජි­ට­ල්ක­ර­ණ­ය­ටත් ඩිජි­ටල් හැඳු­නු­ම්පත ලබා දීමේ සැල­සුම් සම්බ­න්ධ­යෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

රට ගොඩ­නැ­ඟීමේ සහ ආර්ථික සංව­ර්ධ­නය කිරී­මේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩු­වට කිසිම පාර්ශ්ව­යක් සමඟ විශේෂ බැඳී­මක් නැති බැවින් ගත­යුතු සෑම තීන්දු­වක්ම නොපැ­කි­ළව ගන්නා බව ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙහිදී අව­ධා­ර­ණය කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථි­කය ගොඩ­නැං­වීම සම්බ­න්ධ­යෙන් බැංකු­ව­ලින් සිදු වන මැදි­හ­ත්වීම සහ ඔවුන්ගේ ගැටලු පිළි­බ­ඳව ද මෙහිදී අව­ධා­න­යට යොමු වූ අතර ශ්‍රී ලංකාව ඩිජි­ට­ල්ක­ර­ණයේ වැද­ග­ත්කම සහ විද්‍යුත් හැඳු­නු­ම්පත ලබා­දීම සම්බ­න්ධ­යෙන් වැඩ­පි­ළි­වෙළ වසර එක­හ­මා­රක් වැනි කෙටි කාල­ය­කින් නිම කිරී­මට කට­යුතු කරන බව ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කළේය.

පැන­නැ­ඟුණු ආර්ථික අර්බු­දය සමඟ බැංකු පද්ධ­තිය යම් දරා ගැනී­මක් සිදු කර­මින් ව්‍යව­සා­ය­කයා ආරක්ෂා කිරීම සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කළ ජනා­ධි­ප­ති­ව­රයා ව්‍යව­සා­ය­කයා එම දරා ගැනීම අව­භා­විත කරන්නේ නම් එය ගැට­ලු­වක් බව සඳ­හන් කළේය. බැංකු­වත්, ව්‍යව­සා­ය­ක­යාත් ආරක්ෂා වන පරිදි සමස්ත ක්‍රියා­ව­ලිය සිදු කළ­යුතු බවට මෙහිදී වැඩි­දු­ර­ටත් අව­ධා­ර­ණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථි­කයේ අවි­ධි­මත් අංශය විශාල වන අතර එය විධි­මත් කිරී­මේදී දැනට අවි­ධි­මත් ආර්ථි­කයේ යැපෙන ජන­තාව සුර­ක්ෂිත වන ආකා­ර­යට එම ක්‍රියා­ව­ලිය සිදු කරන ලෙස ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ දැනට පව­තින දුෂ්ක­රතා, ව්‍යාපෘති සඳහා ගත වන කාලය වැඩි­වීම,දූෂ­ණය ආදී කරුණු හේතු­වෙන් ආයෝ­ජන පව­ත්වා­ගෙ­න­යෑ­මට තිබෙන බාධා පිළි­බ­ඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මේ ක්‍රියා­ව­ලි­යේදී සියලු කට­යුතු සරල හා අදූ­ෂිත, කාර්ය­ක්ෂම ක්‍රම­වේ­ද­යක් තුළට ගෙන ඒමට තම රජය කට­යුතු කර­මින් සිටින බව ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී අව­ධා­ර­ණය කළේය.

ශ්‍රී ලංකා බැංකු සංග­මයේ ප්‍රධාන විධා­යක නිල­ධාරි බිංගු­මාල් තෙව­ර­තන්ත්‍රි,කොම­ර්ෂල් බැංකුවේ කළ­ම­නා­ක­රණ අධ්‍යක්ෂ, ප්‍රධාන විධා­යක නිල­ධාරි සනත් මන­තුංග, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රධාන විධා­යක නිල­ධාරි හේමන්ත ගුණ­ති­ලක, සම්පත් බැංකුවේ ප්‍රධාන විධා­යක නිල­ධාරි අයෝධ්‍යා ඉද්ද­වෙල, හැටන් නැෂ­නල් බැංකුවේ වැඩ­බ­ලන ප්‍රධාන විධා­යක නිල­ධාරි දමිත් පල්ලෙ­වත්ත, සෙලාන් බැංකුවේ ප්‍රධාන විධා­යක නිල­ධාරි රමේෂ් ජය­සේ­කර, NDB බැංකුවේ ප්‍රධාන විධා­යක නිල­ධාරි කැලුම් එදි­රි­සිංහ, Deutsche බැංකුවේ ප්‍රධාන විධා­යක නිල­ධාරි නිරං­ජන් ෆිගු­රාඩො, ඉන්ද්‍ර­ජිත් බෝය­ගොඩ (SLBA )මහත්ම මහ­ත්මීහු මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.