මනුෂ්‍යයන් වශයෙන් එකිනෙකාට ගරු කිරීමට අප දක්වන කැමැත්ත සහ ආකල්පමය සිතුවිලි දියුණු කිරීමෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් සාමය ගොඩනැඟීමටත් හැකි වන බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.
ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය දූත මණ්ඩලය විසින් සංවිධාන කරන ලද සාම සමුළුව සහ සම්මන්ත්‍රණය ඉකුත්දා (26) පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් නියෝජ්‍ය පොලිස්පතිනිය මේ බව කීවාය.
සාම සමුළුවට සහ සම්මන්ත්‍රණයට සමගාමීව ක්ෂේත්‍ර කිහිපයක ලෝක මට්ටමේ වෘත්තිකයන් කිහිප දෙනෙකු Òමෑන් ඔෆ් ද නේෂන් 2024Ó සම්මාන උලෙළ මඟින් ඇගයීමට ලක් කෙරිණි.
ඒ අනුව ලේඛකයන්, මාධ්‍යවේදීන්, චිත්‍රපට අධ්යක්ෂවරුන්, රූපලාවණ්‍ය ශිල්පීන්, වෘත්තිකයන්, සමාජ සේවකයන්, සන්නිවේදකයන් ඇතුළු කලාකරුවෝ ඇගයීම් සම්මාන හිමි කර ගත්හ.
මීට අමතරව, ආරාධිත අමුත්තන් ඉදිරියේ ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුමේ (IHRGM) නව සාමාජිකයන්ට සහතිකපත් ප්රදානය කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය “සාමය ආරක්ෂා කිරීමට, ළමා හා කාන්තා හිංසන අවම කිරීමට මේ සංවිධානය සමඟ ඉදිරියට එක්ව කටයුතු කිරීමට අප සූදානම්.
සාමය ආරක්ෂා වීමට සහජීවනය ඇතිවීමට මනුෂ්‍යයන් වශයෙන් එකිනෙකාට ගරු කළ යුතුයි. මා මේ උත්සවයට පැමිණි අවස්ථාවේ පටන් මේ දක්වාම ඉහළ ගෞරවයක් ලබා දෙමින් මා පිළිගත්තා. ඒ පිළිගැනීම සියලු දෙනාටම ලබාදුන්නා. ඒ තුළින් අපට පුදුමාකාර බැඳීමක් ඇති වෙනවා. මෙය තමයි සාමය සහ සහජීවනය ඇති කිරීමේ මඟ.
සියලු වාද භේද දුරලා අප මනුෂ්‍යයන් ලෙස එක්විය යුතුයි. ළමා හා කාන්තා හිංසනය පිටුදැකීමට අත්වැල් බැඳගත යුතු ද කීවාය. SAAC කලාපයේ IHRGM හි නියෝජ්‍ය අධ්‍යක්ෂ බිනා ගාන්ධි ඩියෝරි මහත්මිය විසින් IHRGM වෙබ් අඩවිය නිල වශයෙන් ක්‍රියාත්මක කරන ලදි.
ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ උපදේශක ආචාර්ය Moazami Goodarzy, SAAC කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බීනා ගාන්ධි ඩියෝරි මහත්මියද ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andres Marrelo Gonzales මහතාද මේ සමුළුව ඇමතූහ.
IHRGM සභාපතිවරයා නියෝජනය කරමින් ආචාර්ය එම්.ඒ.සී. මහසූම්, සභාපති අමීර් ඛාන්, අධ්යක්ෂවරුන් වන කුබේර ලිංගම්, අබ්දුල් රසාක් සහ මාධ්‍ය අධ්‍යක්ෂ ෆස්ලාන් මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයෝ රැසක් මේ සමුළුවට සහභාගි වූහ.