ස්වාධිපත්‍ය යේ බලය තෝරන පාර්ලිමේන්තුව…

ලොව සෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකම නියමිත කාල වකවානුවක් තුළ මැතිවරණ පැවැත්වීම මඟින් ජනතා නියෝජිතයින් පත්කර ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව ජනතා පරමාධිපත්‍යයේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ඡන්දය භාවිත කිරීමයි. එය ස්වාධීනව හා නිදහස්ව පැවැත්වීම තුළින් රටක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහිකර ගත හැකිය. ඡන්දය පාවිච්චි කරන්නට තරම් ලංකාවේ මිනිසුන්ට ඥාන ශක්තියක් නැති බව වර්ෂ 1910 දී මැකලම් ආණ්ඩුකාරයා ප්‍රකාශ කර ඇත. ලංකාවට ඡන්ද බලය දුන්නොත් රටේ පාලනය පවුල් කිහිපයක් අතට යනු ඇතැයි ඔහුගේ අදහස විය.

වසර 5ක නිල කාලයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ක් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වේ. මෙම මැතිවරණය පිළිබඳව මූලික නීතිරීති ඇතුළත් වන්නේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතටයි. ඒ අනුව ලංකාවම මැතිවරණ කොට්ඨාස 22ක් ලෙස සලකා සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව මන්ත්‍රීවරුන් 196ක් පත්කර ගනු ලබයි. තවත් මන්ත්‍රීවරුන් 29 දෙනෙක් ජාතික ලැයිස්තු මඟින් තෝරාගනු ලබන අතර, ඒ ඒ පක්ෂ ලංකාවේ ලබාගත් ඡන්දවලට අනුරූප ලෙස තෝරාගනු ලබයි. මෙම මැතිවරණය මුළු ලංකාවට ආවරණය වන පරිදි එකම දිනයක පැවැත්විය යුතුය. ඡන්දය පවත්වන දිනය තීරණය කිරීමේ බලය හා නාම යෝජනා භාර ගැනීමේ කාලසීමාව නියම කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද ඊළඟ මැතිවරණයෙන් පසුව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන තෙක් පවතින අමාත්‍ය මණ්ඩලය එලෙසම පවතිනු ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පවතින පාර්ලිමේන්තුවේ වසර 5ක කාලය අවසන් විය යුතුය. නැතහොත් ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය. ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි අවස්ථාවන් 2ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. එනම්,

1. පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමෙන් අවුරුදු හතරහමාරක් ගතවූ පසු සිය අභිමතය මත නිකුත් කරනු ලබන නිවේදනයක් මඟින්.

2. පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ගේ ද ඇතුළු මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3ක බහුතර ඡන්දයෙන් සම්මත කර ගන්නා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් අනුව ජනාධිපතිතුමා විසින් සිදු කරනු ලබන නිවේදනයක් මඟින්.

නීති සකස් කිරීම සහ සංශෝධනය කිරීම, ආණ්ඩුවේ ක්‍රියාකලාපය අධීක්ෂණය කිරීම, ජාතික අය වැය ලේඛනය සම්මත කිරීම මේ කටයුතු සිදු කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුව ඇත. සංවරණය සහ තුලනය පවත්වා ගැනීමට පාර්ලිමේන්තුව අත්‍යවශ්‍ය වේ. පාර්ලිමේන්තුව නීති සම්පාදනය කරන අතර, ආණ්ඩුවේ වගවීම එමඟින් තහවුරු කරයි. විධායක අංශය නීති ක්‍රියාත්මක කරන අතර, රාජ්‍ය පාලනය අධීක්ෂණය කිරීම පාර්ලිමේන්තු මඟින් සිදු කරනු ලබයි. එසේම අධිකරණය විසින් නීතිය අර්ථකථනය කරන අතර, නීති සහ ලබාගන්නා ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න තීරණය කිරීමද පාර්ලිමේන්තු ඔස්සේ සිදු වේ.

කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් සඳහා බලයේ සිටින පාලක පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂය සතුව ද වගකිවයුතු කාර්යභාරයක් පැවරී තිබේ. නිරන්තර අධීක්ෂණය ඔවුන් සතු ප්‍රබල වගකීමකි. රජයේ නීති සම්පාදන කාර්යයන් විවේචනාත්මකව විමසා බැලීම, විධායකයේ කාර්යසාධනය ප්‍රශ්න කිරීම, සුළු ජන කොටස්වල අයිතිවාසිකම් සුරැකීම සහ ස්වකීය ඡන්දදායකයින් වැඩදායි අයුරින් නියෝජනය කිරීම යනාදී ජනතාවට වැදගත් වන කරුණු සපුරාලීම සඳහා ප්‍රබල විරුද්ධ පක්ෂයක අවශ්‍යතාව තහවුරු කිරීමට මැතිවරණ ක්‍රමය සමත් විය යුතුයි. විරුද්ධ පක්ෂයට ද තම කාර්යභාරය සාර්ථකව ඉටු කිරීම සඳහා ව්‍යවස්ථාදායකය තුළ ප්‍රමාණවත් ශක්තියක් තිබිය යුතුය.

නීති සම්පාදනය කිරීමේ හා නීති සම්මත කිරීමේ අනුහස් සහිත බලය පාර්ලිමේන්තුව සතුව ඇති හෙයින් අප එයට රටේ උත්තරීතරම ආයතනය යැයි කියමු. නීති සම්පාදනය කිරීමේ බලයක් නීති සම්මත කිරීමේ බලයක් පාර්ලිමේන්තුව සතු වුවත් මෙරට දේශපාලන සංස්කෘතිය මේ ජරාජීර්ණ නරා වළෙන් ඔසොවා තැබීමට සමත් දියුණු නීති සම්පාදනය නොවන්නේ ඇයිද යන්න විමසිය යුතුය.

සමාජ සංවර්ධනයට ප්‍රතිපත්ති සැකසීම, නීතිරීති සම්පාදනය, රාජ්‍ය මුදල් සම්බන්ධ තීන්දු තීරණ ගැනීම පාර්ලිමේන්තුවේ වගකීමය. මේ කාරණාවලට ඒ සම්බන්ධ දැනුම, හැකියාව ඇති පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතුය. ගණපූරණය නැතිව පාර්ලිමේන්තුව කල් තබන අවස්ථා බොහෝය.

නමුත් මෑත කාලීන පාර්ලිමේන්තු නියෝජනයන් දෙස බැලූ විට රටක් මෙහෙයවීමට තරම් හේතුසාධක වන්නා වූ නීති පද්ධතියක් ඇති කිරීමට ප්‍රමාණවත් දැනුමක් හා අවබෝධයක් සහිත ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුව නියෝජනය කළේද යන්න සහ එවැනි තැනැත්තන් අපේක්ෂක ලැයිස්තුවල ඇතුළත්ව සිටියේද යන කාරණාවත් විමසා බැලිය යුතුය.

පසුගිය කාලයේ පැවති විකෘති පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුව තුළින් පත් කර ගත් ජනාධිපතිවරයා නිසාත් පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණි. ඉතින් ඉදිරි මැතිවරණයේදී පුරවැසියන් විසින් ලබාදෙන සංඥාව රටටම මතක හිටින මැතිවරණයක් වීමට පුළුවනි. 2020 මහමැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ජනතාවගේ අපේක්ෂා අභිලාෂ වෙනුවෙන් නොහැසිරෙන බව පෙනෙන්නට තිබිණි. ජනතා සේවය භූමිකාව අත්හැර ඔවුන් සුඛ විහරණයට කටයුතු කිරීමක් දක්නට ලැබුණි. ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ජනවරම පාවා දුන්නේය. මෙය ජනතාව අපේක්ෂා කළ දෙය නොවේ. මේ නිසා ජනතාව ඊට අවශ්‍ය පිළිතුර ඉදිරි මහමැතිවරණයේදී ලබා දෙනු ඇත.

ඕනෑම ජනාධිපතිවරණයක් අවසානයේ පවත්වනු ලබන මහමැතිවරණයකදී ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයාගේ පක්ෂයට හෝ කණ්ඩායමට පාර්ලිමේන්තු බලය හිමිවීම පෙර මැතිවරණවලදී දක්නට ලැබුණි.උදාහරණයක් ලෙස 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට හැටනව ලක්ෂයක ඡන්ද ප්‍රමාණයක් ලැබුණු අතර, 2020 මහමැතිවරණයේදී ආසන 150 කට ආසන්න 2/3ක බලයක් සහිත අති විශාල බලයක් ඔහුට ලැබුණි.

රටේ පුරවැසියන්ගේ අනාගතය මුළුමණින්ම රැඳී ඇත්තේ ඉදිරියේදී පත්වන ආණ්ඩුව මතයි.

දැන් රටට අවශ්‍යව ඇත්තේ පුරවැසි සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන වැඩපිළිවෙළකි. එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය හැකි උගත්, බුද්ධිමත්, දේශහිතෛශී පිරිසක්, කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගත යුතුයි. දූෂිතයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගැනීම බහුතර ජනතාවගේ අපේක්ෂාවයි.

රට තුළ ප්‍රධාන කුලුනු තුනක් ශක්තිමත් කළ යුතුය. දූෂිත දේශපාලනය වෙනුවට දූෂණයෙන් තොර දේශපාලනයක් නිර්මාණය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය යන කුලුන ගොඩනැඟීමෙන් දැනට අහිමි වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මෙන්ම ජාතික සමගිය නැමැති කුලුන ඔසවා තැබීමට ඉදිරියේ පත්වන පාර්ලිමේන්තුව කටයුතු කළ යුතුය.