ඉන්දියාවෙන් පැමිණි ගුවන්යානයක බෝම්බයක් තිබෙන බවට දුන් තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඊයේ රැස් වෙන ආරක්ෂක කවුසිලයේදී ද මේ ගැන සාකච්ඡාවට ගන්නා බව හෙතෙම කීවේය. ඇතැම් දේවල් හිතාමතා දැනුවත්ව කඩාකප්පල්කාරී ලෙස සිදු කරන්නේදැයි සැකයක් තිබෙන බව ඒ මහතා කියා සිටියේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
සමහර දේවල් හිතාමතා දැනුවත්ව කඩාකප්පල්කාරී විදියට ඇති කරනවද කියන සැකය තිබෙනවා. ඉන්දියාවෙන් පැමිණෙන ගුවන්යානයක බෝම්බ තිබෙනව කියලා දුන්න තොරතුරක් නිසා ගුවන්යානා කිහිපයක්ම පරීක්ෂාවට ලක් කළා. පරීක්ෂා කරාම මුකුත් නැහැ. මෙය හිතාමතා දැනුවත්ව කවුරු හරි කඩාකප්පල්කාරී ලෙස කරනව ද කියන එක ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරමින් තිබෙනවා. ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නවා.