අමාත්‍ය මණ්ඩල තීරණ

2024 ඔක්තෝබර් 28 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29) පැවති මාධ්‍ය හමුවට එක් වූයේ මෙලෙසිනි.

රාජ්‍ය අංශයේ ආරවුල් නිරාකරණයට යන්ත්‍රණයක්

රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යන්ත්‍රණයක් හඳුන්වා දීම පිණිස 2023.11‑20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී තිබේ. ඒ අනුව ‘ශ්‍රී ලංකාවේ සාමය සහ අර්බුද වැළැක්වීම සඳහා සමාජ සංවාදය’ නමැති නව ව්‍යාපෘතිය යටතේ ‘රාජ්‍ය සේවයේ සමාජ කතිකාව වැඩසටහන’ සහ ‘පෞද්ගලික හා අවිධිමත් ආර්ථික අංශ දෙකෙහි සමාජ කතිකාව ප්‍රවර්ධන වැඩසටහන’ යනුවෙන් වැඩසටහන් දෙකක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2ක් පිරිනමා ඇති අතර, එකී වැඩසටහන් අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ සමසභාපතිත්වයෙන් යුත් අන්තර් සමායෝජන කමිටුවක් මඟින් සම්බන්ධීකරණය කරමින් 2024-2026 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කරමින් අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු ඇමැති ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදි.

ඔහායෝ විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුම

භාණ්ඩාගාරයේ පූර්ණ කොටස් හිමිකාරිත්වයෙන් යුතුව ස්ථාපිත ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි. එම ආයතනය සහ අමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලය අතර පර්යේෂණ හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පර්යේෂණ, නවෝත්පාදන, අධ්‍යාපන සහ සංස්කෘතිමය හුවමාරු උදෙසා පහසුකම් සලසාගැනීමේ අපේක්ෂාවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඒ අනුව, දෙපාර්ශ්වය අතර එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ ඇමැති ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඇඟලුම් නිපැයුම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා-ඉන්දුනීසියා සහයෝගය

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ යෝජනා ක්‍රමයේ නිර්ණායක අනුව වරණීය ප්‍රතිලාභ හිමි එක් කලාපීය කණ්ඩායමක රටක නිපදවනු ලබන ද්‍රව්‍ය එවැනිම වරණීය ප්‍රතිලාභ හිමි තවත් කලාපීය කණ්ඩායමක රටක නිෂ්පාදනයකට අන්තර්ගත කළ විට ඒවා එකී අවසන් නිෂ්පාදනය කරන රටෙහි නිමි ද්‍රව්‍යයක් ලෙස සලකනු ලැබීම සඳහා විධිවිධාන ඇතුළත් වේ. එමඟින් අදාළ දෙරටෙහිම අපනයනකරුවන්ට ප්‍රතිලාභ හිමි කරගැනීමට හැකියාව පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව ඒකාබද්ධව අන්තර් කලාපීය සමුච්චනය පිළිබඳ විධිවිධාන යොදාගනිමින් එක් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර, ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්දුනීසියාවෙන් ලබාගැනීමත්, ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් එක්සත් රාජධානියට අපනයනය කිරීමත් මඟින් වරණීය ප්‍රතිලාභ රටවල් දෙකටම අත් කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කොට්ටව ඉඩම තේ පර්යේෂණ ආයතනයටම දිගු කාලීනව බදු දීම

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ දකුණු පළාත් උපදෙස් හා ව්‍යාප්ති මධ්‍යස්ථානය 1961 වර්ෂයේ සිට ගාල්ල කොට්ටව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අතර, අක්කර 69.63ක ඉඩම් ප්‍රමාණයක් එම ආයතනය විසින් දැනට භුක්තිවිඳිනු ලබයි. තේ වගාකරුවන්ට, තේ කර්මාන්තය හා සම්බන්ධ නිලධාරීන්ට, විශ්වවිද්‍යාල සහ පුහුණු පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ පාසල් සිසුන්ට නැරඹීම සඳහා තේ ක්ෂේත්‍ර ආදර්ශන පවත්වාගෙන යෑමට මේ පරිශ්‍රය භාවිත කරනු ලබයි. මේ මධ්‍යස්ථානය වඩාත් විධිමත්ව සහ ඵලදායිව පවත්වාගෙන යෑමට හැකි වන පරිදි අදාළ ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමට පරිසර වනජීවී වන සම්පත් ජල සම්පාදන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩයේ අනුමැතිය හිමිව තිබේ.

පොලිස් සුභසාධක ගොඩනැඟිල්ලේ ශ්‍රවණාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව

පොලිස් සුභසාධක ගොඩනැඟිල්ලේ ශ්‍රවණාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිමි වූ ගොඩනැඟිලි දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති කළමනාකරණය යටතේ උප කොන්ත්‍රාත්තුවක් වශයෙන් ඉන්ටවෙස්ට් ඉංජිනියරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් ආයතනය නියමිත කාලසීමාව තුළ වැඩ අවසන් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව විසින් එකී ව්‍යාපෘතිය 2023.02.24 දින අත්හිටුවා ඇති අතර, මේ ව්‍යාපෘතියෙහි ඉතිරි වැඩ නිම කිරීම සඳහා වර්තමාන මිල ගණන්වලට අනුව උපදේශක සේවා ආයතනය විසින් නව පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කර ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, එකී සංශෝධිත මුළු පිරිවැය ඇස්තමේන්තුව යටතේ ව්‍යාපෘතියෙහි ඉතිරි ඉදිකිරීම් කටයුතු ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව වෙතින් මුල් සැලසුමට අනුව ඉටු කරවාගැනීමට මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ගුරුවරුන් මාරු කිරීම වත්මන් රජය අලුතින් ගත් තීරණයක් නොවේ

වසර 10කට වඩා එක් ස්ථානයක සේවා කාලය සම්පූර්ණ කළ ගුරුවරුන් ස්ථාන මාරු කිරීම පසුගිය ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවක් බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඒ අනුව ගුරුවරුන් මාරු කිරීම වත්මන් රජය ගත් අලුත් තීරණයක් නොවන බව හෙතෙම කීවේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න සාකච්ඡා වුණේ නෑ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ මොහොතේ අහෝසි කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් නොකළ බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මේ මොහොතේ තිබෙන ආකාරයට එය ක්‍රියාත්මක වන බවත්, එවැනි පනතක් වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුව තුළ සංශෝධනය කර අනුමත විය යුතු බවත් පැවසූ ඇමැතිවරයා එහෙත් පාර්ලිමේන්තුව තාම ක්‍රියාත්මක නොවන බවද පැවසීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කළ යුතුය යන අදහස කාලයක් තිස්සේ තිබෙන බවද එය පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු සාකච්ඡාවට ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ගම්මන්පිලගේ ඉලක්කය රවී සහ ශානි බව පැහැදිලියි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ දෙවැනි පාස්කු හෙළිදරවුව මඟින් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරුන් ඉලක්ක කර ඇති බව පැහැදිලි වන බව බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

චැනල් 4 නාළිකාවේ සිදු වීම සම්බන්ධයෙන් වූ වාර්තාව වැරදි බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීම පවා දේශපාලනික කාරණයක් බව හෙතෙම කීවේය. පරීක්ෂණයක් සිදු නොකර එවැන්නක් පැවසුවේ යම් පිරිසක් බේරාගැනීමේ අරමුණින් බවද පැවසූ ඇමැතිවරයා කිසි විටෙකත් එවැනි ක්‍රියාවක් වත්මන් ආණ්ඩුව සිදු නොකරන බව පැවසීය. රජයක් ලෙස මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කරන බවද, ඒ විමර්ශනයෙන් පසු පැහැදිලිව අවසන් තීන්දු ගන්නා බවද කීය.

පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරන තීන්දුවක් අරන් නෑ

පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරන බවට රජය තීන්දුවක් අරගෙන නැතැයි අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය: “පසුගිය පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෝ මේ වන විට අපේක්ෂකත්වයේ නැහැ. සමහරු රට ගිහින්, සමහරු මිය ගොස්. දේශපාලනය වෙනස් කරලා එහාම ගැටලුවක් තිබෙනවා. ඉදිරියේදී පළාත් පාලන ඡන්දය පවත්වන අවස්ථාවක ඉදිරිපත් වෙලා තිබෙන නාම යෝජනා ඒ විදියටම තියා ගන්නවද අලුතින් කැඳවනවද කියන එක පිළිබඳ පනත සංශෝධනය කළ යුතුව තිබෙනවා. අලුතින් කැඳවනවද අනිවාර්යෙන්ම සංශෝධනය කරන්න ඕනෑ.

ඒ සම්බන්ධයෙන් අලුත් පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ අපි තීන්දු ගන්නවා. එහෙම නැතුව පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කරනවා කියලා තීන්දුවක් රජය අරගෙනත් නැහැ. එහෙම අවශ්‍යතාවක් හදිසියේ පැනනැඟිලත් නැහැ.”

රාජ්‍ය සේවක වැටුප ජනවාරියේ සිට වැඩි වේ

එළඹෙන වසරේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් මෙසේද කීය: “රාජ්‍ය සේවකයන්ට සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි කරන්න ඕනෑ. යම් දීමනාවක් දෙන්න අපි බොහොම කැමැතියි. කිසිදු පැකිළීමක් නැහැ. එහෙත් භාණ්ඩාගාරයේ තිබෙන මුදල් අනුව තමයි ඒ තීන්දු ගත යුතු වන්නේ. හිටපු ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා විදියට කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කර තීන්දුවක් ගෙන තිබුණා වැටුප් වැඩි කරන්න. හැබැයි වැටුප් වැඩි කරන්න මුදල් අමාත්‍යාංශය සතුව භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවද හොයා බලා නැහැ. අවුරුදු හතළිස් ගණනක් පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් විදියට එතුමා කරපු දේ වැරදියි. කැබිනට් මණ්ඩලයකට තීන්දු ගන්න පුළුවන්. ඔය වගේ තීන්දු ගෝඨාභය මහත්මයත් ගත්තා. හැබැයි දෙන්න පුළුවන්කමක් නැහැ.

ජනවාරි මාසයේ ඉඳ රුපියල් 10,000ක් රජයේ සේවකයන්ට වැඩි කරන්න ගිය ආණ්ඩුව තීරණයක් ගත්තා. අප්‍රේල් මස දක්වා වෙච්ච හිඟ මුදල ඔක්තෝම්බර් සිට දෙනවා කියලා කිවුවා. හැබැයි අප්‍රේල් සිට රුපියල් 10,000 වැටුපට ලැබුණා. හිඟ මුදල් දෙන්න තීන්දුවක් ගෙන නැහැ. 2024 ජනවාරි 10 දා චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබෙනවා. 2024 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ වැන්දඹු පුරුෂ සහ අනත්දරු වැටුප් දායක මුදල් අය කිරීම සංශෝධනය කිරීම. 2024 ජනවාරි මස සිට මාර්තු මාසය තෙක් වූ හිඟ ජීවන වියදම් දීමනාව 2025 ජනවාරි සිට මාර්තු තෙක් 5,000 බැගින් ගෙවා අවසන් කිරීම. මේ චක්‍රලේඛයේ තිබෙන්නේ හිඟ වැටුප් දීමනාව ගෙවන්නේ 2025 ජනවාරි මස සිට කියලා. රටට කිවුවෙ අමූලික බොරුවක්. රටට කිවුවා ඔක්තෝබර් සිට ගෙවන්න මුදල් වෙන් කර තිබෙනවා කියලා. වෙන් කළා නම් චක්‍රලේඛය ජනවාරි 10 ගහන්නේ ඇයි? මේවා තමයි බොරු කියන්නේ. හිටපු ජනාධිපතිවරයා මුදල් ඇමැති ලෙස මේ රටේ ජනතාව රවටා තිබෙනවා. මේ හිඟ 5,000 නියමිත පරිදි චක්‍රලේඛය ප්‍රකාරව ලබන වසරේ ජනවාරි මස සිට ලබා දෙන්න කටයුතු කරනවා. අපි කවදාවත් රාජ්‍ය සේවකයන්ට බොරු කියන්නේ නැහැ; රවට්ටන්නේ නැහැ. තැපැල් ඡන්දය තියාගෙන බොරු කියන්න, රවට්ටන්න කටයුතු කරන්නේ නැහැ.”

නිසි ක්‍රමවේදයකට යටත්ව වාහන ආනයනයට ඉඩ

වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයකට යටත්ව ඉඩ දීමට රජය තීන්දු කර ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධව මහ බැංකුවද එකඟතාව පළ කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රමවේදයක් සකස් කර මහ ජනතාවට දැනුම් දීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සම්බන්ධ කරගෙන සාකච්ඡා පවත්වා තිබෙන බවද, ඒ සියල්ල සලකා බලා මෙරට මුදල් එකවර පිට රටට ගලාගෙන නොයන පරිදි එය ක්‍රමානුකූලව කළ යුතු බවද ප්‍රකාශ කළේය.

ආරුගම්බේ ප්‍රශ්නයේදී රජය වහා ක්‍රියාත්මක වුණා

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි අමෙරිකා එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කර තිබුණද, සංචාරක තහනමක් පනවා නොතිබුණ බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. යම් තොරතුරක් ලැබුණු පසු සිය රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රටවල් එවැනි පියවරයන් ගන්නා බවත්, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවලට විදෙස් බුද්ධි අංශ විසින් යම් කිසි තොරතුරක් සපයා තිබුණු අතර, වගකිව යුතු රජයක් ලෙස දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග ගත් බවත් පැවසීය. මෙය බලපෑමක්ද, ව්‍යාජ තොරතුරක් ද යන්න නිගමනය කරන්න අමාරු බවත්, එය තහවුරු කරගත හැක්කේ පරීක්ෂණවලින් බවත් කීය.

ලිට්‍රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් කොන්ත්‍රාත්තුව M/s OQ සමාගමට

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයාගැනීමේ කොන්ත්‍රාත්තුව M/s OQ Trading Limited වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක ඇමැති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙනු ලැබීය.

ජාත්‍යන්තර තරගකාරි ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte Ltd. යන ආයතන දෙක පමණක් ලංසු ඉදිරිපත් කර තිබුණු අතර, තාක්ෂණ ඇගයීමේදී M/s Siam Gas Trading Pte Ltd. විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ප්‍රතික්ෂේප වූ බැවින් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත M/s OQ Trading Limited වෙත 2025 වර්ෂය සඳහා වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අනුමැතිය හිමිව ඇත.

ජනපති අනුරගේ අත්සනින් කිසිම මුදල් නෝට්ටුවක් ගහලා නෑ

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු කිසිදු මුදල් නොට්ටුවක් නිකුත් කර නැති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය: “සමාජ මාධ්‍යවල ප්‍රචාර වෙලා තිබුණා අලුතින් ණය ගත්තා කියළා. බිලියනයක මුදල් අච්චු ගැසුවා කියලා. කිසිදු ආකාරයට අලුත් ණයක් කිසිදු රටකින් හෝ ආයතනයකින් ගෙන නැහැ. සාමාන්‍යයෙන් මහ බැංකුවේ ක්‍රමවේදයක් තිබෙනවා භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර කල් ඉකුත් වන විට ඊට සමානුපාතිකව අලුත් ඒවා නිකුත් කරන එක. ඒ ක්‍රියාවලිය හැමදාම සිදු වන දෙයක්. ඒක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. එහෙම නැතුව අලුතින් ණය ගැනීමක් සිදු වෙලා නැහැ. අලුතින් මුදල් අච්චු ගැසීමක් කර නැහැ. එහෙම ගැහුවා නම් දැකගන්න පුළුවන් වර්තමාන මුදල් ඇමැති ජනාධිපතිවරයා අලුතින් මුද්‍රණය කරන ලද මුදල් නෝට්ටුවක මුදල් ඇමැතිවරයගේ අත්සන තියෙන්න ඕනෑ. අපිත් ආසයි එතුමගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න.”

ලන්ඩන් මහ කොමසාරිස්ගේ පැටිකිරිය ගැන ප්‍රශ්න මතු වෙලා

එක්සත් රාජධානියේ දැනට සිටින ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා සම්බන්ධයෙන් හා ඔහුගේ වියදම් සම්බන්ධයෙන් විවිධ චෝදනා පැනනැඟී තිබෙන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය: “මහ කොමසාරිස්වරයා සම්බන්ධයෙන් හා වියදම් සම්බන්ධයෙන් විවිධ චෝදනා පැනනැඟිලා තිබෙනවා. ඒවා පිළිබඳ සොයා බලමින් තිබෙනවා. රටක නියෝජිතයෙක් තමයි මහ කොමසාරිස්වරයෙක් කියන්නේ. ඒ නිසා එකපාර හදිසියේ කැඳවීම් කළාම රටක් විදියට එම රටවල් එක්ක ගනුදෙනු කරද්දී යම් යම් ගැටලුකාරි තත්ත්වයන් මතු වෙනවා. අද කියලා හෙට ගෙන්නාගන්න ක්‍රම නෙවෙයි. කෙටි කාල සීමාවක් තුළ ඒ කටයුත්ත සිදු කරනවා. කිසි සේත්ම ඔවුන් ආරක්ෂා කරන්න යන්නේ නැහැ. ඔහු සුඛෝපභෝගී කාර් රථයක් අරගෙන තිබුණා කියලා සමාජ මාධ්‍යවල පළ කර තිබුණා. ඒවා ලංකාවේ ආණ්ඩුවේ හෝ විදේශ අමාත්‍යාංශයේ සල්ලිවලින් අරගෙන තිබුණේ නැහැ. එතුමගේ පෞද්ගලික සල්ලිවලින් ගත්ත වාහනයක්. දේශපාලන සම්බන්ධකම් මත ගිහින් ඉන්න විදේශ දූත මණ්ඩල නියෝජිතයන් පිළිබඳව අපි ඉදිරියේදී තීන්දුවක් ගන්නවා. කාල සීමා අවසන් වන බොහෝ අය ඉන්නවා. ඒ අය නැවත ලංකාවට පැමිණෙනවා.”