ලන්ඩන් නුවර ටොන් 24ක චීස් මංකොල්ලයක්-චීස් තොගයේ වටිනාකම රුපියල් කෝටි 11යි

නීත්‍යානුකුල වෙළෙඳ සමාගමක් ලෙස පෙනී සිටිමින් එංගලන්තයේ ලන්ඩන් නුවර කේන්ද්‍ර කරගත් ප්‍රකට චීස් වෙළෙඳ සමාගමකින් චීස් ටොන් 24ක් කොල්ලකෑමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රංශයේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක් සඳහා නියෝජිතයකු විසින් ඇණවුම් කරනු ලැබූ බවට අඟවමින් ජාවරම්කරුවන් විසින් එම චීස් තොගය පසුගියදා ලන්ඩන් නුවර චීස් වෙළෙඳ සමාගමෙන් ලබාගෙන ඇතැයි ද වාර්තා වේ. සමර්සෙට් ප්‍රාන්තයේ චේඩර් ගම්මානයේ නිපදවනු ලබන එම චීස් වර්ගය චේඩර් චීස් නමින් හඳුන්වනු ලබන අතර, එය ලොව නොම්මර එකේ චීස් වර්ගයක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම චීස් තොගයට මුදල් ගෙවා නැති බවට ලන්ඩන් නුවර වෙළෙඳ සමාගමට අනාවරණය වී ඇත්තේ ජාවාරම්කරුවන් එම චීස් තොගය ගෙන පිටත්වීමෙන් මොහොතකට පසුව බව ද වාර්තා වේ.

අමෙරිකානු ඩොලර් තුන්ලක්ෂ අනූදහසක් වටිනා (රුපියල් කෝටි 11කට අධික මුදලක්) එම චීස් තොගය නැව්ගත කර විදෙස් රටවල අලෙවි කිරීමට ජාවාරම්කරුවන් ඉදිරියේදී කටයුතු යොදනු ඇතැයි ද, විශේෂයෙන් රුසියාවට හෝ මැදපෙරදිග රටවලට යවනු ඇතැයි ද සැක පහළ වී ඇති අතර, මේ පිළිබඳ එම සමාගම ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියට දැනුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ පිළිබඳ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබා ඇති බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය සූපවේදියකු වන ජෙමී ඔලිවර් ‘මහා චීස් මංකොල්ලය‘ ලෙස එය හඳුන්වා ඇති අතර, ජාවාරම්කරුවන් සොයා ගැනීමට සහාය වන ලෙස සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි මිලියන 10.5ක රසික රසිකාවියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.