සූකර උණ හේතුකොටගෙන මේ වන විට ඌරු මස් අලෙවිය තහනම් කර ඇති බැවින් කිසියම් ස්ථානයක මේ දිනවල ඌරු මස් අලෙවි කරන්නේ නම් ඒ බව වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ දිනවල ඌරන්ට බෝ වී තිබෙන අප්‍රිකානු සූකර උණ රෝගය නිසා ඌරු මස් අලෙවිය තහනම් කරමින් රජයේ ආයතන මඟින් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි ද උපුල් රෝහණ මහතා “දිනමිණට” ඊයේ (29) ප්‍රකාශ කළේය.
කිසියම් ස්ථානයක ඌරු මස් අලෙවිය මේ දිනවල සිදු කරන්නේ නම් අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීය.
ඌරන්ට පමණක් නොව මිනිසාගේ පරිභෝජනයට සුදුසු ඕනෑම සත්ත්වයකුට කිසියම් රෝගී තත්ත්වයක් පවතින්නේ නම් එම මාංස මිනිස් පරිභෝජනයට නුසුදුසු බව ද ඒ මහතා පැවසීය.
අප්‍රිකානු සූකර උණ වැලඳුණු සත්ත්වයකුගේ මාංස අනුභවයට ගත් කිසිදු පුද්ගලයකුට එම වයිරසය ශරීරගත වූ බවට ලෝකයේ කිසිදු රටකින් මෙතෙක් වාර්තා වී නැති බවත් එහෙත් රෝගී තත්ත්වයට පත් වූ සත්ත්වයකුගේ මාංස අනුභවයට ගැනීම අනතුරුදායක නිසා මේ දිනවල ඌරු මස් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව සෞඛ්‍ය අංශ මඟින් ජනතාව දැනුම්වත් කරන බවත් ඒ මහතා පැවසුවේය.
මෙරට වෙසෙන ඌරන් අප්‍රිකානු සූකර උණ රෝගයට ගොදුරු වීමේ අවදානම නිසා සියලු අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාදිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යෑම හෝ පලවා හැරීම, ආසාදිත සතුන් ඝාතනය කිරීම, රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘත්‍රිම අභිජනන ක්‍රම භාවිත කිරීම, අවදානම් සතුන් භාවිත කර ගනිමින් සජීවී සත්ත්ව වෙළෙඳපොළ පැවැත්වීම, දර්ශනය හා තරග පැවැත්වීම, ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝගකාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදාහැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීම යනාදිය තහනම් කරමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් මාස තුනකට බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් පසුගියදා (25) නිකුත් කෙරිණි.