මත්ද්‍රව්‍ය ව්‍යාපාරය හා පාතාලය අද වන විට මුළු රටටම විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් ජාතික ආරක්ෂාවට පවා විශාල තර්ජනයක් මෙයින් තිබෙන බවත් මෙතෙක් මේවා නඩත්තු කළේ දේශපාලනඥයන් බවත් අගමැති හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය.
ඉකුත්දා (26) අඹතලේ ගල්වාන හන්දියේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් කොළොන්නාවේදී අගමැතිනිය මේ බව කීවාය.
එම පක්ෂයේ කොළොන්නාව සංවිධායක එරංග ගුණසේකර මහතා විසින් එය සංවිධානය කර තිබිණි.
එදා දේශපාලනඥයන් විසින් නඩත්තු කරන ලද ඒ දේශපාලන සංස්කෘතියට තිත තබන බවත් ජාතික ජන බලවේගයේ අපි පාතාලයටවත් මත්ද්‍රව්‍ය ජාවාරමටවත් කිසිවකු සම්බන්ධ නැති බවත් ඒ නිසා අපට මේ ප්‍රශ්නයට ඍජුවම උත්තර හොයන්න කිසිම බාධාවක් නැති බවත් ඇය කීවාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ඊට කටයුතු කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ද ඇය මෙහිදී පැවසුවාය.
එහිදී ඇය මෙසේ ද කීවාය.
මේ ධාරානිපාත වර්ෂාවේ වුවත් අද මෙතැනට පැමිණි ඔබ අප ගැන තියෙන විශ්වාසය පෙන්නුම් කරනවා. අපේ ආණ්ඩුවක් හරහා ඔබේ ජීවිතවලට වෙන්න තියෙන දේ පිළිබඳ බලාපොරොත්තුව අපි හොඳටම දන්නවා. ඔබ අප කෙරෙහි තබා ඇති බලාපොරොත්තුවත් විශ්වාසයත් කෙරෙහි අබ මල් රේණුවකින්වත් හානියක් වෙන්න අප ඉඩ තියන්නේ නැහැ.
ඔබ අද මෙතන ඉන්න විදිය දැක්කම අපේ අධිෂ්ඨානය තව දහස් වාරයකින් වැඩි වෙනවා. මට පේනවා මෙතන ඉන්නව රතු ඇඳ ගත්ත සහෝදරයෙක්. ඔහු කොපමණ වෙලාවක් මඩ වතුරේ කකුල් දෙක තියාගෙන ඉන්නවා ද කියා මම දන්නේ නැහැ. මට ආරංචි විදියට ඔය සහෝදරයා 71 ඉඳලම ඔය කැප කිරීම කරල තියෙනවා. ඔබ වැනි අය අත්නොහැර අල්ලගෙන ආපු ගමන නිසා තමයි අපට පුළුවන් වෙලා තියෙන්නේ මේ රටේ අපේම ආණ්ඩුවක් හදන්න. බොහෝ වධ හිංසාවලට ලක් වුවත් මේ සහෝදරයා තම ගමන අත්හැර නැහැ.
2019දීත්, 2020දීත් අපිව 3%ට බැස්සුවාමත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තුන් දෙනකු ඉන්න කොටත් අප සටන අත්හැරියේ නැහැ. අපේ සහෝදර සහෝදරියන්ට ගුටි කන්න, අනේකවිධ අපහාස විඳින්න සිද්ධ වුණාමත් අප සටන අත්හැරියේ නැහැ. ඒ නිසාමයි අද අපට මේ රට හදන්න පුළුවන් කියන බලාපොරොත්තුව ඇති වෙලා තියෙන්නේ. ඒ හයිය, ඒ ශක්තිය තමයි මේ රට හදන්න අපි පාවිච්චි කරන්නේ. බලන්න මේ වන විට අනෙක් පක්ෂ දිහා. ජනාධිපතිවරණ ප්‍රතිඵල ආවා විතරයි, ඒගොල්ලෝ සටන අත්හැරලා. ඒ අයට තමන් ගැනවත් විශ්වාසයක් නැහැ. නැවත ගොඩනැඟෙන්න ඕනෑ කියලා උවමනාවකුත් නැහැ. ඒ කියන්නේ ඔවුන් මේකේ ඉඳලා තියෙන්නේ රට ගැන දැක්මකින්වත් කැක්කුමකින්වත් නෙවෙයි.
අද ඒ පක්ෂවලින් භාගෙට භාගයක්වත් තරග කරන්නේ නැහැ. පරාජය දැනගත්ත මොහොතෙම වැඩේ අත්හැරල ඉවරයි. මෙහෙම පිරිසකට ද මේ තරම් කාලයක් රට භාර දීලා තිබුණේ. කිසිම හයියක් නැති කොන්දක් නැති අය. නායකයො කියන්නත් බැහැ. මහජන නියෝජිතයො කියන්නත් බැහැ. අපට දැන් අවශ්‍ය නොවැම්බර් 14 වැනිදා මේ පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ කාර්යයි. ජනතාවට වැඩ කරන පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න ඕනෑ. ඒ සඳහා අපි රට පුරාම හොඳම පිරිසක් ඉදිරිපත් කරලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔබේ පළාතේ එරංග ගුණසේකර සහෝදරයා පත් කරලා එවන්න ඔබට වගකීමක් තියෙනවා. අප කොච්චර බිමටම වැටුණු වෙලාවෙදී වුණත් ඒ අධිෂ්ඨානය අත්හැරියේ නැති ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් මේ රට ගැන අපට තියෙන විශ්වාසය සහ පුරවැසියන් පිළිබඳ තියෙන ආදරය. මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් හොඳ සමාජයක් ලැබිය යුතු නිසා ඒ සිහිනය, අරගලය කිසි විටෙකත් අත්හැරියේ නැහැ යැයි ද කීවාය.