පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ 8, 000ක පමණ සේවක පිරිසක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කර ඇති බව කියා සිටි ඒ මහතා ඒ අනුව කොළඹ හා වන්නි දිස්ත්‍රික්කවල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ඊයේ (28) ආරම්භ කළ බව ද පැවසීය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සමඟ ලබාදිය යුතු ගෘහ දැන්වීම් පත්‍රිකා මැතිවරණ කොමිසමෙන් තැපැල් දෙපාර්තමේන්තුවට ලබා නොදීම හේතුවෙන් එම දිස්ත්‍රික්ක දෙකෙහි අදාළ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වූ බව ද හෙතෙම කියා සිටියේය.
මේ වන විට මැතිවරණ කොමිසම මඟින් අදාළ ගෘහ දැන්වීම් පත්‍රිකා ලබා දී ඇති බවත් ඒවා නියමිත තැපැල් ස්ථාන වෙත යොමුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පෙරේදා (27) ආරම්භ කෙරිණි.
ලබන 07 වැනිදායින් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ අයෙක් ඇත්නම් ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේය.