ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාංගණ භාර සේවකයින් අතුරින් වැඩියෙන්ම මහන්සි වෙන ක්‍රීඩාංගණ භාර සේවකයින් සිටින්නේ ශ්‍රී ලංකාවේ බවත්, ක්‍රිකට් තරගයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් ඔවුන් කරන සේවය මිල කළ නොහැකි එකක් බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක පැවැසීය. ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගාවලිය නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ක්‍රිකට් ක්‍රීඩාංගණ භාර සේවකයින් සිදු කරන කාර්ය අගය කිරීමට අමතක කළේ නැත.
“ලෝකෙ වැඩියෙන්ම මහන්සි වෙන ක්‍රීඩාංගණ භාර සේවකයින් ඉන්නේ ශ්‍රී ලංකාවේ. නමුත් ඔවුන්ටත් කරන්න අමාරු කොටසක් තියෙනවා. වර්ෂාවෙන් තෙත් වුණාම යළි ක්‍රීඩාංගණය වේළනවා කියන එක හරිම අමාරු වැඩක්. ඒ වගේ වේලාවක බෝලය තෙත් වුණාම පන්දු යවන්නන්ට අමාරුයි පන්දු යවන්න. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන්ට අමාරු වෙනවා. යාර 30න් එළියට පන්දුව ගියාම පන්දුව තෙත් වෙනවා“ අසලංක සඳහන් කළේය.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති එක්දින ජාත්‍යන්තර තරග තුනේදීම වරින් වර වර්ෂාව පතිතවී තරගයට බාධා ගෙන දුනනේය. එවිට වහාම ක්‍රියාත්මක වූ ක්‍රිකට් ක්‍රීඩාංගණ භාර සේවකයින් ඕවර් කිහිපයක් හෝ ක්‍රීඩා කිරීම වෙනුවෙන් විශාල පරිශ්‍රමයක් දැරීම කාගේත් ප්‍රශංසාවට බඳු විය. වැස්සට තෙමී, අව්වට වේළී ක්‍රිකට් තරග පවත්වා ගැනීම වෙනුවෙන් බලවත් පරිශ්‍රමයක් දරන පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සේවකයින් 130ක් පමණ සිටිති.
වර්ෂාව පතිත වෙද්දී ක්‍රීඩාංගණය වසා දැමීම සඳහා අඩි 100යි 100 ප්‍රමාණයෙන් යුත් කාපට් 26ක් ඇති අතර, වතුර නැති වේලාවට එම කාපට් එකක් කිලෝග්‍රෑම් 46ක් පමණ බරකින් යුක්ත වේ. වැස්සට වතුර පිරී එහා මෙහා අදිද්දී කාපට් එකක බර කිලෝග්‍රෑම් 150ක විතර වන බව පල්ලේකැලේ ක්‍රීඩාංගණය භාර නිලධාරියෙකු ‘දිනමිණ‘ කළ විමසිමකදී පැවැසීය.