චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය වසර 2000කට අධික කාලයක් පුරා විහිදෙනවා. ශ්‍රී ලංකාවේ කඩිසර, බුද්ධිමත් ජනතාව නියත වශයෙන්ම අවදානම් සහ අභියෝග ජයගෙන, පවතින අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වී, සමෘද්ධිය ළඟා කර ගැනීමට ජාතික ආර්ථිකය පණ ගන්වනු ඇතැයි තමා තරයේ විශ්වාස කරන බවත් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong (චී ෂෙන් හොන්ග්) මහතා ප්‍රකාශ කළේය.
පසුගිය වසර 67 පුරාවට චීනය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාව සහ අන්‍යෝන්‍ය ප්රතිලාභ යන මූලධර්ම මත පදනම්ව එකිනෙකාට සහයෝගය දක්වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව සංගමය (SLCFA) මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සමරමින් කොළඹ මහජන පුස්තකාලයේදී සංවිධාන කළ විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයට ඊයේ (28) එක් වෙමිනි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර Òනිදහසෙන් පසු වසර 75කින් චීනයේ සංවර්ධනය” තේමාවෙන් මේ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ ඊයේ (28) ආරම්භ විය. එමෙන්ම අද (29) දිනයේත් මේ ප්‍රදර්ශනය පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.
එහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකාවේ චීන තානාපති මෙසේද පැවසීය.
Òචීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) නායකත්වය යටතේ 1949 දී එය ආරම්භ කළ දා සිට චීන ජාතිය කෙළින් සිට සමෘද්ධිමත්වීමට සහ ශක්තියෙන් වර්ධනය වීමට විශාල පරිවර්තනයක් ලබා තිබෙනවා. චීන ජනතාව සෑම අතින්ම ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් ගොඩනැඟීමේ නව මාවතේ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යමින් සිටිනවා. ඒ වගේම චීන නවීකරණයෙන් ජාතික පුනර්ජීවනය කරා ගමන් කරමින් සිටිනවා. චීනයේ කැපී පෙනෙන පිම්ම සහ සංවර්ධනයට මූලික හේතුව වන්නේ ප්‍රතිසංස්කරණයේ සහ විවෘතභාවයේ විශිෂ්ට ගමනක් ආරම්භ කිරීමට චීන ජනතාවට මඟපෙන්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයයි. මේ වසරේ 20 වැනි CPC මධ්‍යම කාරක සභාව ජූලි මාසයේදී සිය තුන්වන පූර්ණ සැසිවාරය සාර්ථකව කැඳවා, ප්‍රතිසංස්කරණය සහ විවෘත කිරීම සඳහා නව වැඩසටහන් ලේඛනය සම්මත කළා. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳ මධ්‍යම කාරක සභාවේ යෝජනාවයි.
මේ යෝජනාව මඟින් චීන ලක්ෂණ සහිත සමාජවාදයේ ක්‍රමය අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම සහ චීනයේ ක්‍රමය සහ පාලන හැකියාව නවීකරණය කිරීමට සමස්ත අරමුණු සකසා තිබෙනවා. එය 2029 දී මහජන චීන සමූහාණ්ඩුවේ 80 වැනි ආරම්භක සංවත්සරය වන විට සම්පූර්ණ කළ යුතු ප්‍රධාන ප්‍රතිසංස්කරණ 300කට වඩා වැඩි ප්‍රමාණයක් ද ඉදිරිපත් කර තිබෙනවා. චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් වන අතර, අපගේ මිත්‍රත්වය වසර 2000කට අධික කාලයක් පුරා විහිදෙනවා.
1957ට පෙර දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගන්නා විට, ස්වාධීනත්වය, ස්වයං විශ්වාසය, එකමුතුකම සහ අන්‍යෝන්‍ය සහයෝගය පෙන්නුම් කරන ඓතිහාසික රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීමට තිබුණ විවිධ දුෂ්කරතා ජයගෙන තිබෙනවා.පසුගිය වසර 67 පුරාවට චීනය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාව සහ අන්‍යෝන්‍ය ප්රතිලාභ යන මූලධර්ම මත පදනම්ව එකිනෙකාට සහයෝගය දක්වනවා. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද සාම්ප්‍රදායික හෝ සාම්ප්‍රදායික නොවන තර්ජනවලට මුහුණ දුන්නද චීන රජය සහ ජනතාව සැමවිටම ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ ස්ථිරව සිටින බව ඉතිහාසය සනාථ කර තිබෙනවා.
චීනය ශ්‍රී ලංකාවට විශ්වාසවන්ත මිතුරකු සහ විශ්වාසවන්ත සහකරුවකු ලෙස ක්‍රියා කරනවා. චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව වඩ වඩාත් සමීප වන තරමට ශ්‍රී ලංකාව ස්වෛරීභාවය, ආරක්ෂාව, සංවර්ධනය සහ අභිමානය ආරක්ෂා කර ගැනීමටත්, කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවලදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමටත් ශ්‍රී ලංකාව වඩාත් දක්ෂ වනු ඇති බව කරුණු පුන පුනා පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවාසී ජනතාව දැන් නව යුගයකට අවතීර්ණ වී සිය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ කඩිසර, බුද්ධිමත්, වීරෝදාර ජනතාව නියත වශයෙන්ම සියලු ආකාරයේ අවදානම් සහ අභියෝග ජයගෙන, පවතින අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වී, සමෘද්ධිය ළඟා කර ගැනීමට ජාතික ආර්ථිකය පණ ගන්වනු ඇතැයි මම තරයේ විශ්වාස කරනවා.
Òඉන්දියන් සාගරයේ මුතු ඇටයÓ ලෙස ශ්‍රී ලංකාව වඩාත් දීප්තිමත් වනු ඇත. අවංක අන්‍යෝන්‍ය සහයෝගිතාව සහ සදාකාලික මිත්‍රත්වය මත පදනම් වූ චීන – ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ඉහළ මට්ටමකින් අඛණ්ඩව විශාල ප්රබෝධයක් ලබා ගනු ඇතැයි ද පැවසීය.