අපි ඉදිරිපත් කරන පිරිස අලුත් වුණාට දේශපාලනයට නවකයන් නම් නොවෙයි
ජාතික ජන බලවේගයට දේශපාලනය කියන්නේ මහජන සේවයක්
දේශපාලනය මහජන සේවයක් බවට හැරවීමට ආණ්ඩුව මුලපුරා තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගය ඉදිරි මහා මැතිවරණය වෙනුවෙන් සංවිධාන කළ ‘රට හදන අපි එකට මාලිමාවට’ ගාල්ල, බද්දේගම පැවැති ජන රැලියට පෙරේදා (27) සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.
Òමේ මැතිවරණයේ දී ජනතාවට කියන්න කරුණු නැති වී සිටින අය පරණ කතාම නැවත කියන්න පටන් අරගෙන තිබෙනවා. අලුත් අයට අත්දැකීම් නැති බවත්, පුරුදු අය එවන ලෙසත් ඔවුන් කියනවා. මේ කියන පරණ අය හොරකමට පුරුදු, නීතිය මුළුමනින්ම නොසලකා කටයුතු කරන අය බව මේ වන විටත් හෙළි වී තිබෙනවා. සාමාන්‍ය අයෙක්ගේ වාහනයක අංක තහඩුව වැටිලා තිබුණොත් පාරේ යන්නෙත් ඉතාම කල්පනාවෙන්, සෝදිසියෙන්. නමුත් දේශපාලකයන් එංගලන්තයෙන් හොරෙන් ගෙනැවිත්, හොර අංක තහඩුවලින් වාහන දුවපු හැටි හෙළි වෙනවා. ඒ වගේම කෝටි ගණන් වටිනා වාහන නාඳුනන අය ඇවිත්, මිදුල්වලට දමා ගිහින් හමුවෙනවා. ඔවුන් මේ දක්වා වැඩ කළේ නීතිය අදාළ නැති පිරිසක් හැටියටයි. වාහන ලියාපදිංචි කරන්න ඕනෑ ජනතාව. ඔවුන් අද වේදිකාවල කියන පළපුරුද්ද කියන්නේ අන්න ඒ වගේ දේවල්වලට. අපරාධ කර කට්ටි පනින්න, හොරකම් කර බේරෙන්න, ජනතාවට උඩින් ඉන්න අත්දැකීම් ඔවුන්ට තිබෙනවා. මහජනතාවට එපා වුණේ මෙන්න මේ වගේ අය හිටපු පාර්ලිමේන්තුවක්.
පාර්ලිමේන්තුවට ඇතුළු වන විට සියල්ලම ඉතා හොඳින් පරීක්ෂා කරනවා. නමුත්, හොරෙන් පිහි තල, මිරිස් කුඩු අරගෙන යන්න පුළුවන්. පාර්ලිමේන්තුවේදී පුටුවලින් ගහගන්න පුළුවන්. සභා ගර්භය මැද එකිනෙකාට පහර දෙන්න පුළුවන්. ජනතා විරෝධී අණපනත්වලට අත උස්සන්න පුළුවන්. ඔවුන් පුරුදු වී සිටින්නේ මෙන්න මේ වගේ කටයුතුවලට. නීතියට වඩා ඉහළින් සිටිමින්, මහජන ධනය කෝටි, ප්‍රකෝටි ගණන් වංචා කරන්නත් මහජනයාට වඩා වරප්‍රසාද භුක්ති විඳින්නත් ඔවුන් හොඳ පුරුද්දක් ලබාගෙන සිටිනවා. ජනතාවට දැන් එවැනි පුරුදු තිබෙන පුද්ගලයන් හොඳටම ඇති වෙලයි ඉන්නේ. හිටපු ජනාධිපති අදත් කියලා තිබෙනවා, පුරුදු අය පාර්ලිමේන්තුවට යවන්න කියලා. අපි කියන්නේ, හොඳ අයගෙන් පුරවන්න කියලා.
ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර සිටින අය පාර්ලිමේන්තුවට අලුත් අය වුවත්, දේශපාලනයට අලුත් අය නොවෙයි. ඕනෑම වේලාවක රට විපතට පත් වන අවස්ථාවක ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ පිරිසක්. මහජනතාවගේ ධනය හොරකම් කිරීමට විරුද්ධව හඬ නැඟූ අය ඉන්නේ. මේ රටේ සම්පත් විකිණීමට එරෙහිව ඒවා රැක ගන්න ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වූ අය අපට ඉන්නේ. මේ රටේ කොතැනක හෝ අසාධාරණයක් සිදු වෙනවා නම්, ඊට විරුද්ධව දේශපාලනය කළ අය ඉන්නේ. ඒ වගේම ගංවතුර ගැලීම්, සුනාමි වැනි ව්‍යසන හමුවේ ජනතාව වෙනුවෙන් උපරිමයෙන් කැප වුණු අය ඉන්නේ. අපේ අය හොඳින් පුරුදු වී සිටින්නේ හොඳ යහපත් වැඩවලට. මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ අලුත් අයගෙන්. මාලිමාව නියෝජනය කරන්නේ එවැනි පිරිසක්.
තරුණ, තරුණියන් ඇතුළු පුරවැසියන්ට තිත්ත වී තිබුණු දේශපාලන පොරපිටිය ශුද්ධ කරන්න, පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවා යහපත් දේශපාලනයක් ඇති කරන්න ඕනෑ. අපට විරුද්ධව කටයුතු කරන පිරිස්වලට දේශපාලනය යනු මුදල් ඉපැයීමේ මාර්ගයක්. ජාතික ජන බලවේගයට දේශපාලනය යනු මහජන සේවයක්. බිස්නස් එකක් කරගෙන තිබෙන දේශපාලනය, ක්‍රමානුකූලව මහජන සේවයක් බවට මහජනයා වෙනුවෙන් ක්‍රියා කරන දේශපාලනයක් බවට අප පත් කරනවා. අනෙක් පිරිස් බලන්නේ යම් ව්‍යාපෘතියක් රටට හොඳයි ද කියලා නොවෙයි. ඒ නිසා රටට මේ දක්වා පිරිසුදු ආයෝජකයන් ආවේ නැහැ. බෙහෙත්වලින් හොරකම් කළේ දේශපාලනය ව්‍යාපාරයක් කර ගත් අය. බාල පොහොර ගේන්නෙත් දේශපාලන බිස්නස් එකෙන්. දේශපාලනය මහජන සේවයක් බවට පත් කරන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ වන විටත් මුලපුරා තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා-
පසුගිය කාලයේ සිටි දේශපාලනඥයන් ජාතික ජන බලවේගයේ පිබිදීම මර්දනය කිරීමට ඔවුන්ගේ මාධ්‍ය බලය භාවිත කරමින් විවිධ මඩ ප්‍රචාර සමාජගත කළා. ජාතික ජන බලවේගය බලයට පත් වුවහොත්, ආර්ථිකය බිඳවැටේවි, ඩොලරය රුපියල් හාරසියයට යාවි, කොටස් වෙළෙඳපොළ කඩාවැටේවි, ජාත්‍යන්තර සබඳතා බිඳවැටේවි, පෝලිම් යුගයක් ඇති වේවි, කැරැලි කෝලාහල ඇති වේවි ආදී වැරදි ප්‍රචාර සමාජගත කළා. නමුත්, ජාතික ජන බලවේගයේ සියලුම පිරිස් කොට්ඨාස සභා පිහිටුවමින් ජනතාව හමුවට යමින් නිවැරදි කරුණු සමාජගත කළා. ඒ නිසා ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත් කරගත හැකි වුණා.
ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක යාන්ත්‍රික ඉංජිනේරු සිහදූර් රහුමාන් මහතා-
දියුණුව කරා යා හැකි වන්නේ, ශ්‍රී ලාංකික ජාතියක් විදියට අපි හැමෝම කල්පනා කර කටයුතු කරන්න පුළුවන් නම් පමණයි. ඒ බව නිවැරැදිව තේරුම් ගැනීම නිසා ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් දෙමළ භාෂාව හසුරුවන අපේක්ෂකයෙක් විදියට මාව තෝරාගෙන තිබෙනවා. මින් ඉදිරියට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න යාපනයෙන් විතරක් නායකයන් ඕනෑ නැහැ. මුස්ලිම් අය ගැන කතා කරන්න නැඟෙනහිරින් නායකයන් ඕනෑ නැහැ. අපි ශ්‍රී ලාංකිකයන් විදියට ඉදිරියට යන්න අධිෂ්ඨාන කර ගනිමු. මෙපමණ කල් අපව භේද භින්න කර තබා ගැනීම පිළිබඳව හොඳින් තේරුම් අරගෙන ඉන්නවා. ජාතික සමගිය ඇති කළ හැකි එකම පක්ෂය ජාතික ජන බලවේගය පමණයි.
‘ජාතික ජන බලවේගයේ කාන්තාවෝ’ සංවිධානයේ දිස්ත්‍රික් සභික, ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ හසාරා ගම්පළ ලියනගේ-
මෙපමණ කල් දේශපාලනය සමාජයේ එක්තරා පිරිසකට පමණක් සීමා වී තිබුණා. තරුණ, තරුණියන් හැටියට අපට මහලොකු හීන තිබුණේ නැහැ. නමුත්, මෑතක් දක්වාම තරුණ, තරුණියන්ගේ අහිංසක හීන සිල්ලරට විකුණන්න දේශපාලකයන් සමත් වුණා. රට රැකියා හීනයක්, වාහනයක් ගැනීමේ හීනයක් වගේ දේවල් වෙනුවෙන් යොදාගත් තරුණ පරපුර දැන් සම්පූර්ණයෙන් ම වෙනස් වී ඉන්නවා. අපි වගේ සාමාන්‍ය පවුල්වල පුරවැසියන්ටත් දේශපාලනයේ විශාල ඉඩක් නිර්මාණය කර දීම නිසා ජාතික ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට ශක්තිමත් අපේක්ෂක කණ්ඩායමක් තෝරාගෙන සිටිනවායිද පැවසීය.