ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිට අයත් එක්ස් සමාජ මාධ්‍ය ගිණුමක් අත්හිටවූ බව එම සමාගම ඊයේ නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ඉලෝන් මස්ක්ට අයත් එම සමාගම ඉරාන නායකයාගේ ගිණුම අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ එම සමාජ මාධ්‍යජාලයේ නීතිරීති උල්ලංඝනය කිරීමේ හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එක්ස් සමාජ මාධ්‍යජාලය අයතුල්ලා කමේනි විසින් උල්ලංඝනය කළ නීතිරීති පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු නොකළද, පසුගියදා ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසු අයතුල්ලා කමේනි සිය එක්ස් සමාජ මාධ්‍යජාලා ගිණුමෙහි තැබූ සටහනක ආරම්භයේ යුදෙව් ජාතිකයන්ගේ හීබෘ බසින් පරිවර්තනය කර සටහන් කළ එක්තරා ඉස්ලාම් ආගමික වැකියක් ඊට හේතු වූ බවට වාර්තා පළ වී තිබේ.
අයතුල්ලා කමේනිගේ සමාජ මාධ්‍යජාලා ගිණුමක් අත්හිටවූ හෝ ඉවත් කළ පළමු අවස්ථාව මෙය නොවන අතර, 2023 ඔක්තෝබර් 7 හමාස් සංවිධානයේ ඊශ්‍රායල ප්‍රහාරය ගැන ඔහු විසින් තැබූ සටහනක් හේතුවෙන් පසුගිය පෙබරවාරියේදී මුහුණු පොතෙන් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්යජාලයෙන් කමේනිගේ ගිණුමක් ඉවත් කර තිබිණි. 85 හැවිරිදි ඉරාන අාධ්‍යාත්මික නායකයා සතු එක්ස් ගිණුම් කිහිපයක්ම ඇති අතර, ඒ සියල්ල ඔහුගේ කාර්යාලයෙන් මෙහෙයවනු ලබන බව ද වාර්තා වේ.