අවි­ධි­මත්ව ආන­ය­න­ය කළ ඌරු ­මස් නිසා මෙරට සූකර උණ පැති­රුණා-සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල්

අප්‍රි­කානු සූකර උණ රෝගය (African swine fever) මෙරට ඇතුළු වී ඇත්තේ අවි­ධි­මත් ලෙස ආන­ය­නය කළ ඌරු මස්ව­ලින් හෝ ගුවන්තොටු­පොළ හා වරාය මඟින් ඉව­ත­ලන ආහා­ර­ව­ලින් බවට අනු­මාන කරන්නේ යැයි සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය හේමාලි කොත­ලා­වල මහ­ත්මිය පැවසු­වාය.

කෙසේ වුවත් ඒ බව නිශ්චි­තව තහ­වුරු කර ගැනීම සඳහා වසං­ගත විද්‍යා­ත්මක විම­ර්ශ­න­යක් සිදු කර­මින් සිටින බව ද ඇය පැවසු­වාය. මහ­නු­වර ගන්නෝ­රුවේ පිහිටි සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේන්තු කාර්යා­ල­යේදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් කොත­ලා­වල මහ­ත්මිය මේ බව කීවාය.

මෙර­ටට අවශ්‍ය ඌරු මස්ව­ලින් කුඩා ප්‍රමා­ණ­යක් විදේශ රට­ව­ලින් ආන­ය­නය කරන බවත් එහිදී ආන­ය­නික බල­පත්‍ර ලබා­ දෙන්නේ සූකර උණ රෝගය නොමැති රට­ව­ලින් මස් ආන­ය­නය කිරී­මට බවත් ඇය පැවසු­වාය.

මෙම තත්ත්වය තුළ විධි­මත් ලෙස ආන­ය­නය කළ ඌරු මස්ව­ලින් මෙම වෛර­සය රට තුළට ඇතුළු වීමට කිසිදු ඉඩක් නොමැති බවත් අව­ධි­මත් ලෙස රටට ගෙන එනු ලැබූ මස් මඟින් හෝ ගුවන් තොටු­පොළ හා වරා­යට පැමි­ණෙන නැව්ව­ලින් ඉව­ත­ලන ආහාර මඟින් මෙය රට තුළට ඇතුළු වූ බවට අනු­මාන කරන බවත් අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රිය ප්‍රකාශ කළාය.

පරි­භෝ­ජ­න­යෙන් පසු ඉව­ත­ලන ඉඳුල් ගොවි­පො­ළ­වල ඇති­ක­රන ඌරන්ට ලබා­දෙන බැවින් ඒ ඔස්සේ මෙම වෛර­සය සතුන් කරා ගමන් කිරීමේ හැකි­යා­වක් පව­තින බව ද ඇය ප්‍රකාශ කළාය.

පසු­ගිය මාස එක­හා­මා­රක කාලය තුළ මෙරට ඌරු ගොවි­පොළ ආශ්‍රි­තව ව්‍යාප්ත වූ රෝගය පී.ආර්.ආර්.එස් (Porcine Reproductive and Respiratory Syndrome) බවට පශු වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නය තහ­වුරු කළ බවත් එහි දී මතු­වන රෝග ලක්ෂ­ණ­ව­ලට වඩා වෙනස් රෝග ලක්ෂණ පව­තින සතුන් ද ගොවි­පොළ කිහි­ප­ය­කින් වාර්තා වීම නිසා පශු වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නය එම සතුන් ගේ සාම්පල කිහි­ප­යක් පරීක්ෂා කිරීමේ දී ඒ අත­රින් කිහි­ප­දෙ­න­කුට අප්‍රි­කානු සූකර උණ වැලඳී තිබෙන බව තහ­වුරු වූ බවත් කොත­ලා­වල මහ­ත්මිය කීවාය.

මේ අනුව මෙර­ටින් මේ වන­විට පී.ආර්.ආර්.එස් (Porcine Reproductive and Respiratory Syndrome) රෝගය සහ අප්‍රි­කානු සූකර උණ රෝගය උණ (African swine fever) යන වෛරස් රෝග දෙකම වාර්තා වී තිබෙන බවත් පී.ආර්.ආර්.එස් රෝග­යට එන්න­තක් ඇතත් අප්‍රි­කානු සූකර උණට මෙතෙක් එන්න­තක් සොයා­ගෙන නොමැති බවත් අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රිය පැවැ­සු­වාය.  රෝග දෙකම වෛරස් රෝග වුවත් අප්‍රි­කානු සූකර උණ අධි­ව්‍යා­ධි­ජ­නක වෛරස් රෝග­යක් බව ද රෝගය පැතිර යාම වැළැ­ක්වීම සඳහා ඌරන්, ඌරු මස් හා ආසා­දිත වෙන­යම් ද්‍රව්‍ය­යක් ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවා­හ­නය මුළු­ම­නින්ම තහ­නම් කර­මින් ගැස­ට්ටු­වක් එළි­දැක් වූ බව ද ඇය කීවාය.

මේ වන­විට වෛරස් ආසා­දිත සතුන් වාර්තා වී තිබෙන්නේ පළාත් හත­ර­කින් පම­ණක් වුවත් රෝග ව්‍යාප්තිය පාල­නය සඳහා ගත යුතු ක්‍රියා­මාර්ග සම්බ­න්ධ­යෙන් සත්ත්ව නිෂ්පා­දන හා සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ සියලු පළාත් අධ්‍ය­ක්ෂ­වරු දැනු­වත් කළ බවත් කොත­ලා­වල මහ­ත්මිය ප්‍රකාශ කළාය.

මිය­ගිය සතුන් මඟින් පරි­ස­ර­යට මෙම ‍ෙවෙර­සය එක­තු­වීම අවම කිරීම සඳහා එම සතුන් පුලුස්සා දැමීම හෝ ගැඹුරු වළ­වල් කපා වළ දැමීම සුදුසු බවට උප­දෙස් මාලා­වක් නිකුත් කර ඇතැයි ද ඇය කීවාය.