සහල් මෝල්වලට පාරිභෝගික අධිකාරිය හදිසියේම එයි-නිපුණ-අරලිය මුලින්ම පරික්ෂාවට

පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් මෝල් හා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් මෙන්ම සහල් නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ඊයේ (27) පොලොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික නිලධාරීන් කටයුතු කළ අයුරු. ඡායාරූපය – සිරිපුර – මදුශානි අබේසිංහ

ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට අයත් ප්‍රධාන සහල් මෝල් ඇතුළු මෙරට ඇති සුළු හා මධ්‍ය පරිමාණයේ හාල් මෝල්වල පවතින සහල් සහ වී තොග සංචිත පරික්ෂා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිරිපාල ගම්ලත් මහතාට අයත් පොලොන්නරුවේ පිහිටි නිපුණ සහල් නිෂ්පාදනාගාරය හා ගබඩා සංකීර්ණය මුලින්ම පරික්ෂාවට ලක්කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඊයේ (27) ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් ව්‍යාපාරයේ ප්‍රධාන සහල් නිෂ්පාදනාගාරය සහ ගබඩා සංකීර්ණය පරික්ෂාවට ලක්කරනු ලැබීය.

එම ස්ථානයට ගිය නිලධාරීන් එහි තිබූ සහල් සහ වී තොග පරික්ෂා කර ඇති අතර එම සහල් ව්‍යාපාරයේ නිලධාරින් සහ පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීන්, නිෂ්පාදනාගාරයේ ප්‍රධාන නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ද කර ඇත. එහි දී එහි තිබූ සහල් සහ වී තොග පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකාරිය වෙත ලබා දෙන ලෙස අධිකාරියේ වැටලීම් අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා දැනුම් දී ඇත. ඒ අනුව එම වාර්තාව ලබා දෙන බවට එහි නිලධාරීන් එකඟතාව පළ කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැනුම්දීමකට අනුව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි පොලොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම පරික්ෂාව සිදුකර තිබේ.

වී මෝල්වල මේවනවිට පවතින වී හා සහල් තොග කොපමණ ද යන්න පිළිබඳව දත්ත එක් රැස් කිරීම ආරම්භ කරනු ලැබුවේ පෙරේදා දිනයේය.. ඊයේ දිනයේ පරික්ෂාවට ලක්වූයේ පෙරේදා දිනයේ පරික්ෂා කිරීමට නොහැකිවූ පොලොන්නරුවේ පිහිටි ප්‍රධාන පෙළේ වී මෝල් හා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් කිහිපයකි.

ඒ අනුව ඊයේ පරික්ෂා කෙරුණේ පොලොන්නරුව, ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි සහල් මෝල ය.

අරලිය සහල් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ලාල් සිරිසේන හා එහි විධායක අධ්‍යක්ෂ සම්පත් රත්නායක යන මහත්වරුන් මෙම පරික්ෂාවේ දී පවසා සිටියේ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වන තමන්ට සහල් නිෂ්පාදන පිරිවැය සඳහා විශාල මුදලක් වැය වන බැවින් රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීම තුළ පාඩු සිදුවන බවයි. කෙසේ නමුදු තමන් රජයේ පාලන මිළට නාඩු, සම්බා හා කීරි සම්බා සහල් තම තොග පවතින තුරු අඛණ්ඩව ලබා දෙන බව ද ඔවුහු වැඩිදුරටත් පවසා සිටියහ.

දිනකට නාඩු සහල් ලක්ෂ එකක් ද කීරී සම්බා සහල් කිලෝ ලක්ෂ 02ක් හා සම්බා සහල් කිලෝ ලක්ෂ 01 දෛනිකව වෙළෙඳපොළට නිකුත් කරන අතර ඉදිරි දින 75ක් සඳහා සහල් වෙළෙඳපොළ සඳහා නිකුත් කිරීම සඳහා වන වී තොග තම ආයතනය සතු බවයි.

මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදනය කරනු ලබන පොලොන්නරුව සේවාගම ප්‍රදේශයේ පවත්වාගෙන යන හිරු සහල් මෝල කදුරුවෙල නගරයේ පවත්වාගෙන යන වී හේන, සහල් මෝල මින්නේරිය, සී.පී.පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මේනක සහල් මෝල හා ලත් සහල් මෝල යන සහල් මෝල්වල මේවනවිට පවතින සහල් හා වී සංචිතයන් හා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පොලොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා නිලධාරීන්ගේ විශේෂ නිරීක්ෂණයට ලක්ව ඇත.

එහි දී එම මෝල් හිමියන් පාරිභෝගික නිලධාරීන් වෙත පවසා සිටියේ තමන්ට සහල් අලෙවියේ දී පාඩු සිදුවුණ ද ඒවා පිළිබඳව නොසලකා පාරිභෝගිකයින් වෙත සහල් රජයේ පාලන මිළට සහල් අලෙවි කිරීම සඳහා තම වී සංචිත භාවිත කරමින් කටයුතු කරන බවයි.කෙසේ නමුදු තමන් ළඟ මේවනවිට පවතින වී තොග ප්‍රමාණවත් වන්නේ මේ වසරේ දෙසැම්බර් මස දක්වා පමණක් බවට ද වී මෝල් හිමියෝ වැඩිදුරටත් පවසා සිටියහ.

දින දෙකක් පුරාවට පොලොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික නිලධාරීන් විසින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් සතුව තිබෙන වී හා සහල් පිළිබඳ දත්ත හා තොරතුරු රැස් කරනු ලැබූ අතර එම තොරතුරු සියල්ල කොළඹ පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරන බවට පොලොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා නිලධාරීහු පවසා සිටියහ.