යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමක් ජනපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ (H.E. Carmen Moreno) මහත්මිය ප්‍රමුඛ යුරෝපා සංගමයේ (EU) නියෝජිත පිරිස පසුගියදා (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුම්වත් කළ අතර, සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුම්වත් කළේය.

ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙ‍ෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළෙඳපොළ ලෙසත් කටයුතු කරයි. ශ්‍රී ලංකාව සඳහා සිය වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, යුරෝපා සංගමය තුළ රැකියා අවස්ථා වැඩි කිරීම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සහාය දැක්වීමට ඇති කැපවීම යුරෝපා සංගම් නියෝජිතයෝ විසින් මෙහිදී ජනාධිපතිවරයා හමුවේ තහවුරු කළහ.

එසේම දැනුම හුවමාරු කරගැනීම, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන්හි නව යන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය දෙන බවට ද යුරෝපා සංගමය ජනාධිපතිවරයා හමුවේ සහතික වූහ. වෘත්තීය අධ්‍යාපනය, සමුද්‍රීය කටයුතු, ආයෝජන, සාමය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමයේ කැපවීම මෙහිදී නියෝජිත පිරිස අවධාරණය කළ අතර, මේ පොදු ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාමට සමීප සහයෝගීතාවෙන් කටයුතු කරන බවට ද ඔවුහු සහතික වූහ. පසුගිය ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වීම සම්බන්ධයෙන් ද නියෝජිත පිරිස මෙහිදී ශ්‍රී ලංකාවට ප්‍රශංසා කළ අතර, පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතමින් සිය රටවල ජනාධිපතිවරුන් විසින් එවනු ලැබූ සුබපැතුම් පණිවිඩ නෙදර්ලන්තය, ප්‍රංශය සහ රුමේනියාව රටවල තානාපතිවරු ජනාධිපතිවරයාට පිළිගැන්වූහ.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩැමියානෝ ෆ්‍රැන්කොවිජ් (Damiano Francovigh), රුමේනියා තානාපති ස්ටෙලූටා අහයර් (Steluta Arhire), නෙදර්ලන්ත තානාපති බොනී හොර්බැක් (Bonnie Horbach), ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජිත මරී නොයෙල් ඩුරිස් (Marie Noelle Duris), ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජිත ඕලෆ් මැල්ෂො (Olaf Malchow) සහ නෙදර්ලන්තයේ නියෝජ්‍ය තානාපති ඉවම්ස් රජන්ස් ( Iwams Rutjens) මහත්ම මහත්මීහු යුරෝපා සංගමය නියෝජනය කරමින් මේ අවස්ථාවට එක්ව සිටියහ.