මිල පහත වැටීමෙන් ගොවීන් අසරණ වුණත් පාරිභෝගිකයාට මිල අඩු වීමේ වාසිය යන්නේ නෑ-මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න

එළවළු මිල පහත වැටීම හේතුවෙන් ගොවීන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති නමුත්, මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට නොලැබෙන බව මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි

දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය හා ඇඹිලිපිටය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල එළවළු හා පළතුරු මිල පහත වැටීම හේතුවෙන් ගොවියාට නිෂ්පාදන වියදමට සරිලන ආදායමක් හිමි නොවන අතර අස්වැන්න නෙළීම, ආර්ථික මධ්‍යස්ථාන දක්වා ප්‍රවාහණය කිරීම සහ කොමිස් මුදල් ගෙවීමෙන් පසු ගොවීන්ට කිසිදු ආදායමක් හිමි නොවන තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතුව ඇති බවද පෙන්වා දෙමින් ඇය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි:

ශ්‍රී ලංකාව පුරා ප්‍රධාන නගර සහ අර්ධ නාගරිකයේ තවමත් එළවළු මිල ඉහළ මට්ටමක පවතී. ගොවියාට ලැබෙන මිල සහ පාරිභෝගිකයා අතට පත් වන මිල අතර පරතරය තුන් ගුණයක් හෝ හතර ගුණයක් තරම් ඉහළ ගොස් ඇත. සැපයුම් ජාල කලමනාකරණයේ නිරත අතරමැදියන් විසින් අධික ලාභ ලබා ගැනීම නිසා ගොවියාද, පාරිභෝගිකයා ද අන්ත අසරණ තත්වයට පත්ව ඇත.

කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ බීට් රු. 90 ද, ගෝවා රු. 50 ද, නෝකෝල් රු. 80 ද, කැරට් රු. 40 ද, රාඹු රු. 40 ද, තක්කාලි රු. 130 දක්වා ද, පහත වැටී ඇත. ගෝවා, කැරට්, රාබු, අස්වැන්න නෙලීම ගොවීන් විසින් අතපසු කරමින් සිටින්නේ වගාබිමේ සිට වෙළඳ මධ්‍යස්ථාන වෙත ගෙනයාමේ දී එයට වැඩි මුදලක් දැරීමට සිදු වන බැවිනි.

නුවරඑළිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී ඇති සංචාරන හෝටල් හා ආපන ශාලා වෙත අලෙවි වන මල්ගෝවා, බ්‍රොකලි, රතු රාඹු, මාළුමිරිස්, සුකින, බෙල්පෙපර් නිෂ්පාදනය සඳහා වැය වන මිල හෝ ගොවියාට නොලැබෙන තත්වයක් පවතී. එළවළු තොග විකුණාගත නොහැකි තත්වයට ආසන්න වෙමින් ඇත.

මෙරට විශාලතම ආර්ථික මධ්‍යස්ථානය වන දඹුල්ල වෙත ලැබී ඇති එළවළු තොග විකුණා ගැනීමේ අපහසුවක් ඔක්තෝබර් 25 සිකුරාදා දිනයේ දකින්නට ලැබුණි. අද දිනයේ මේ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට අනුමාන කෙරේ. දින දෙකක් එළවළු විකුණා ගත නොහැකි වන්නේ නම්, මෙයට වසර තුනකට පෙර සිදු වූ අයුරින්ම ගොවියාගේ අස්වැන්න අලින්නට කන්නට දමන්නටත්, විසි කර දැමීමට සිදුවිය හැකි බවටත් ගොවීන් බියට පත් වී ඇත.

මෙ තත්ත්වය පාලනය කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.