අපට හිටිය වටිනාම වස්තුව මොහොතකින් අහිමි වුණා – පියා හැඬූ කඳුළින් කියයි

“මගේ පුතාට වෙච්ච දේ හිතා ගන්නවත් බෑ. එයාට සිදු වූ විපත්තිය කොහොම දරාගන්න ද දෙවියනේ. පන්සිළු පුතා අපට හිටපු වටිනාම වස්තුව. අපේ පවුලට, ගමට, රටට පාසලට මොහොතකින් එයා අහිමි වුණා.” යැයි බේරුවල, හෙට්ටිමුල්ල, මල්ලබොක්ක ග්‍රාමයේ ජීවත් වූ කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබමින් සිටියදී දෙමටගොඩදී පසුගිය සිකුරාදා සවස දුම්රිය අනතුරකින් දිවි අහිමි වූ පන්සිළු කවිරත්න සිසුවාගේ පියා වන සමිත කවිරත්න මහතා සංවේදීව පවසන්නට විය.

“කොළඹ ඉස්කෝලේ යන්න ගත්ත දවසේ ඉඳන් එයා කවදාවත් දුම්රියක ගිහින් නෑ. එයා කෝච්චියේ යන්න කැමතිත් නෑ. මෙහෙම දෙයක් වුණේ කොහොමද කියා රහසක්ව තබා පුතා අපි හැමෝම දාලා ගියා. මට මේක දරා ගන්න බෑ. ඒක හරියට හීනයක් වගේ.” යැයි පන්සිළුගේ නිසල දේහය දෙස බලා සිටිමින් ඔහු මේ දේවල් කියන්නට වූයේ සිය බාල පුතුගේ වියෝව දරා ගැනීමට නොහැකිව සංවේදී වෙමිනි.

එදාත් පන්සිළු සුපුරුදු පරිදි කොළඹ රාජකීය විද්‍යාලයට ගියේය. අනතුරුව ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනකටත් සහභාගි විය. හවස නිවෙසට එන්න පැමිණ තිබියදී දෙමටගොඩ දුම්රිය අංගණයට ආසන්න ප්‍රදේශයේදී ඔහු මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණදී තිබේ.

පන්සිළු පාසල් ගියේ ආවේ කළුතර ප්‍රදේශයේ සිය ඥාති නිවෙසේ සිට බස් රථයෙනි. ඔහු කෝච්චියේ ගමනට ප්‍රියතාවක් දක්වා නැත.

මෙහිදී පන්සිළුගේ පාසල් මිතුරන්ගෙන් මේ පිළිබඳව විමසුවත් පන්සිළුට වෙච්ච දේ ඔවුන්ටත් සිහිනයක් වගේ බව සමීප මිතුරන් කිහිප දෙනෙක් පැවැසූහ.

පන්සිළුගේ පියා වන සමිත කවිරත්න මහතා බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අයෙකි. හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද ඔහු කටයුතු කළේය.

පන්සිළු උපත ලබන්නේ 2007 ජනවාරි මස 03 වැනිදාය. ඔහු අලුත්ගම ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව වසර කිහිපයකට පෙර කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්වී ඇත. කලා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටි ඔහු විද්‍යාලයේ කැපී පෙනෙන දක්ෂ සිසුවෙක් ද විය.