හොර හරක් පැටවූ ලොරියකට බෝපැලේදී පොලිස් වෙඩි-සැකකරු අධිකරණයට

ලුණුගම්වෙහෙර දෙස සිට මත්තල හරහා සූරියවැව දෙසට පොලිස් අණ නොතකා ධාවනය වූ හොර හරක් පටවා ගත් ලොරි රථයකට සූරියවැව, බෝපැලේ හන්දිය අසලදී ඊයේ (27) අලුයම පොලිසිය වෙඩි තබා නතර කර සැකකරුවකු අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පවසයි.

ලුණුගම්වෙහෙර දෙස සිට මත්තල හරහා ධාවනය වූ ලොරි රථයකට අලුයම 3.30ට පමණ මාර්ග රාජකාරියේ යෙදී සිටි මත්තල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නවත්වන ලෙසට අණ කර ඇත. නමුත් ලොරි රථය නොනවත්වා ධාවනය කර තිබේ. පසුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ලොරි රථය පසුපස හඹා ආ නමුත් ලොරි රථය අධික වේගයෙන් සූරියවැව දෙසට ධාවනය කර ඇත.

මේ සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට දන්වා ඇති අතර, එහිදී වහා ක්‍රියාත්මක සූරියවැව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සූරියවැව, බෝපැලේ හන්දිය අසල මාර්ග බාධකයක් යොදවා තිබේ. එහිදී මාර්ග බාධකය අසලින් පැමිණි අදාළ ලොරි රථයට නවත්වන ලෙසට සූරියවැව පොලිසියේ නිලධාරීන් අණ කර ඇතත් ලොරි රථය නොනවත්වා ධාවනය කර ඇත. එහිදී සූරියවැව පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා තිබේ.

ලොරි රථයේ ඉදිරිපස වම් රෝදයට වෙඩි වැදී ඇති නමුත් වෙඩි වැදීමෙන් පසුව ද ලොරි රථය ඉදිරියට ධාවනය කර ඇත. .එහිදී පොලිස් නිලධාරීන් ලොරි රථය පසුපස හඹා ගොස් ලොරි රථය නවතා අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේදී ලොරි රථයේ පැමිණි එක් පුද්ගලයකු පලා ගොස් ඇති අතර, ලොරි රථය හා රියැදුරු සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ලොරි රථය පරීක්ෂා කිරීමේදී හිංසාකාරී ලෙස මස් සඳහා ප්‍රවාහනය කරමින් සිටි එළගවයන් 18 දෙනකු එහි සිටි බව පොලිසිය කියයි. ලොරි රථයේ සිටි ගවයන් අතරින් දෙදෙනකු ඒ වන විටත් මිය ගොස් සිට ඇත. ලොරි රථය සමඟ බේරුවල පදිංචි 58 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.