රට පාලනය කරන්නේ දූෂිතයන් මැරයන්-අපරාධකරුවන් නම් අත්වන්නේ විපතක්-ජනපති රත්නපුර දිස්ත්‍රික් ජන රැලියේදී කියයි

රට පාලනය කරන්නේ දූෂිතයන්, මැරයන්, අපරාධකරුවන් නම් ඒ රටට අත්වන්නේ විපතක් පමණක් බව ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ මෙවර මහමැතිවරණය වෙනුවෙන් පෙරේදා (26) පැවැති රත්නපුර දිස්ත්‍රික් ජන රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙලෙස ද කීවේය.

“ජනාධිපතිවරණයේදී අප ඔබට පොරොන්දු වුණා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් දින කිහිපයකදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. ඒ ආකාරයෙන්ම අපි පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. රට පාලනය කිරීමට ජනාධිපති ධුරය වගේම ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් සහ ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ලබන වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන්නත්, ඉන් පසු පළාත් පාලන මැතිවරණ පවත්වන්නත් අපි අපේක්‍ෂා කරනවා. අනේකවිධ දුක්ඛ, දෝමනස්සයන්ට ගොදුරු වී සිටින ජනතාවගේ ජීවිත ගොඩනැඟිය හැකි වන්නේ මේ ආයතනවල ශක්තිමත් දේශපාලන යන්ත්‍රණයක් තහවුරු කිරීමෙන් අනතුරුවයි.

මේ වන විට ජනාධිපති ධුරය ජාතික ජන බලවේගය වෙත ගෙන තිබෙනවා. ඊළඟට පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ඕනෑ. යහපත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න නම්, පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනෑ. අපේ රටේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් කෙරෙහි පවතින්නේ සුබදායී ආකල්පයක් නොවෙයි. ඇමැතිවරයකු කී සැණින් දූෂිතයකු, චණ්ඩියකු එහෙමත් නැත්නම් අපරාධකාරයකු පිළිබඳ අදහසක් එනවා. රටක් පාලනය කිරීමේ දේශපාලන නායකත්වය දරන්නේ අපරාධකරුවන්, චණ්ඩින්, දූෂිතයන් නම්, එවැනි රටකට විපත් පමණයි සිදු වන්නේ. රට එම තත්ත්වයෙන් මුදාගෙන දේශපාලනය කෙරෙහිත්, දේශපාලකයන් කෙරෙහිත් මහජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න ඕනෑ. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. ජනතාව ආණ්ඩුව කෙරෙහි තිබෙන බැඳීම සහ විශ්වාසය වැඩිකර ගනිමින්, රට ගොඩනැඟීමේ දිශාවට ගමන් කරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ අප වෙත පැවරී තිබෙන ප්‍රධාන වගකීම ජනතාව, අප කෙරෙහි තැබූ විශ්වාසය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමයි. එය මැනවින් ඉටු කරන බව ඔබ හමුවේ තහවුරු කරනවා.

රට ගොඩනැඟීමට සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. ඒ වෙනුවෙන් මහාමැතිවරණයේදී තව පිම්මක් ගැනීම අවශ්‍ය වෙනවා. සියලු පද්ධති කඩා වැටී සමහර සංවර්ධන සැලැසුම් අහිතකර ප්‍රතිවිපාක ගෙනැවිත් දෙන සම්පත් අපතේ යවන තත්ත්වයක් පවතින්නේ. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නම්, එය ගොඩනැඟීමට සමත් සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. වෙනත් දෙපාර්තමේන්තුවක් ගොඩගැනීමට නම්, ඒ වෙනුවෙන් හැකියාව තිබෙන සමීප දේශපාලන නායකත්වයක් ඕනෑ. ශක්තිමත් මාලිමාවේ ආණ්ඩුවක් ගොඩනඟා ගත යුත්තේ ඒ වෙනුවෙන්.”

විශ්‍රාමික දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂක සුගත් වසන්ත ද සිල්වා මහතා

“ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ අනුර කුමාර දිසානායක සහෝදරයාට ආබාධිත පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා. එය ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් ලෙස ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්‍ෂකයකු ලෙස ආබාධිත පුද්ගලයන් නියෝජනය කරමින් මා ඉදිරිපත් කර තිබෙනවා. ලක්‍ෂ දහ හතකට වැඩි ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කිරීමේ අවස්ථාව මේ මඟින් දී තිබෙනවා. ගෙවී ගිය අවුරුදු හැත්තෑ හය තුළ විවිධ පක්‍ෂ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ආබාධිත පුරවැසියන් කෙරෙහි අවධානයක් යොමු කර තිබුණේ නෑ. ඔවුන් වෙනුවෙනුත් ප්‍රතිපත්තියක් සකස් කිරීමයි ජාතික ජන බලවේගයේ හැඩය. මේ දේශපාලන ව්‍යාපාරය කිසිමදාක ජනතාවට පිටුපාන්නේ නෑ.”

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, රත්නපුර දිස්ත්‍රික් අපේක්‍ෂක, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා

“රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන්න ජාතික ජන බලවේගයෙන් විශිෂ්ට අපේක්‍ෂකයන් 14 දෙනෙක් ඉදිරිපත් කර සිටිනවා. මේ ඉන්න අපේක්‍ෂකයන්ට නඩු නෑ. ඇප පිට ඉන්න අය නෙවෙයි. දූෂණ චෝදනා නෑ. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරණීය ඔබට මේ 14 දෙනා අතුරින් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමේ කිසිදු දෙගිඩියාවක් තියෙන්න හේතුවක් නෑ.”