මහා විහාරීය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් සත්කාර සේවා පුහුණුව ලැබූ පිරිසකට සහතික පත්

අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක සාහිත්‍ය ශූරී පල්ලේගම හේමරතන නාහිමියන්ගේ හා රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන්ගේ සංකල්පයකට අනුව අරම්භ කරන ලද මහා විහාරීය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් සත්කාර සේවා පුහුණුව ලැබූ පිරිසක් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් බෝමළුව විහාරීය සන්ථාගාර ශාලාවේදී ඊයේ (27) පැවැත්විණි.

මේ පාඨමාලාව ක්‍රියාත්මක කර ඇත්තේ කුලියාපිටියේ සියාසී හොස්පිටල් ආයතනය හා ඒකාබද්ධ වෙමිනි. ලංකාරාමාධිකාරි උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත රළපනාවේ ධම්මජෝති, අභයගිරි විහාරාධිකාරි ආචාර්ය කල්ලංචියේ රතනසිරි, සම්බුද්ධත්ව ජයන්ති විහරස්ථානයේ විහාරාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද, ථූපාරාම විහාරාධිකාරි කහල්ලේ ඥානින්ද, මිරිසවැටිය විහාරාධිකාරි වැලිහේනේ සෝභිත, කහටගස්දිගිලියේ මේධංකර යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයද මේ අවස්ථාවට වැඩම කළහ.

අටමස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේ අනුශාසනාවක් පවත්වමින් පැවසූයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල යෞවන යෞවනියන් හට රැකියා වෙළෙඳපොළේ දොරගුළු විවර කරමින් විදේශීය රැකියා අවස්ථා අභිමුඛව මේ පාඨමාලාව නොමිලයේ ක්‍රියාත්මක කරන බවයි. කැනඩාව ඇතුළු විවිධ රටවල රැකියා අවස්ථා හිමිකරගත හැකි ආකාරයේ ප්‍රමිතියකින් යුතුව මේ පාඨමාලාව ක්‍රියාත්මක කරනු ලබන බව රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරි ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ සඳහන් කළහ.

මාස හයක් පුරා පැවති මේ පාඨමාලාවේදී සත්කාරක සේවා පිළිබඳ පුහුණුව මෙන්ම ජපන් භාෂා පුහුණුවද පුහුණුලාභීන් වෙත ලබා දී ඇත. මෙහිදී සහතික පත් හිමි කරගත් පුහුණු ලාභීහු පිරිස 61කි. මේ අනුව NVQ 3 මට්ටමේ සහතිකයක් ඔවුන්ට හිමි විය.

අනුරධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ මහත්ම මහත්මීන් මෙන්ම දිස්ත්‍රික්කයේ ආයතන කිහිපයක මෙන්ම ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප්‍රධානීහු රැසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.