දික්ඔය නගර සභාවේ PHIලාට මරණ තර්ජනය කළ ආපනශාලා හිමිකරු අත්අඩංගුවට

එළඹෙන දීප­ාවලී උත්සව සමය නිමිත්තෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් පෙරේදා (26) හැටන් නගරයේ ආපන ශාලා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේදී ආපන ශාලා හිමියකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් ආපනශාලා පරීක්ෂා කිරීමට ඉඩ නොදී මරණිය තර්ජන සිදු කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයට සහාය දක්වන එම ආපන ශාලාවේ හිමිකරු තමන් හැටන් දික්ඔය නගර සභාවේ අනාගත සභාපතිවරයා බවත්, තම ආපනශාලාව පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කිසිදු අයිතියක් නොමැති බවත් පවසමින් ආපන ශාලාවේ හිමිකරු තම රාජකාරියට බාධා කළ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.

දීපවාලී උත්සවය නිමිත්තෙන් හැටන් නගරයට දිනපතා විශාල පාරිභෝගිකයන් පිරිසක් පැමිණෙන නිසා නගරයේ සියලුම ආපන ශාලා සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන තොග සහ සිල්ලර වෙළෙඳසල් පෙරේදා (26) හදිසි පරික්ෂාවට ලක් කළ බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාමදේවන මහතා කියා සිටියේය.

ඒ අනුව හැටන් නගරයේ පිහිටි එම ආපන ශාලාවට ගොස් පරීක්ෂා කිරීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් අපිරිසිදු ලෙස ආහාර පිළියෙල කර තිබූ බවත්, ඒවා විනාශ කිරීමට කටයුතු කරන අවස්ථාවේ ආපන ශාලාවේ හිමිකරු පැමිණ තමන් ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පහර දීමට තැත් කර ආපන ශාලාව පරීක්ෂා කිරීමට හෝ පිළියෙල කර තිබූ අපිරිසිදු ආහාර විනාශ කිරීමට ඉඩ නොදුන් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක කාමදේවන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පැමිණිල්ලට අනුව අදාළ ආපන ශාලා හිමිකරු අත්අඩංගුවට ගත් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා කියා සිටියේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවයි.