ආසියානු නැඟී එන ක්‍රිකට් ශූරතාව ඇෆ්ගනිස්තානයට

මුල් පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් නැඟී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම හමුවේ කඩුලු 7කින් පරාජය වීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සිදු විය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 6 වැනි වරට මේ තරගාවලිය සංවිධාන කළ අතර, ඇෆ්ගනිස්තානය අවසන් තරගයට පිවිසි පළමු අවස්ථාවේදීම ශූරතාව දිනා ගැනීම කැපී පෙනිණි.

ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමි වූ පළමු අවස්ථාව මෙය වන අතර, මින් පෙර 2017දී අවුරුදු 23න් පහළ කණ්ඩායම් ලෙස පැවති තරගාවලියේදීත්, 2018 නැඟී එන කණ්ඩායම් ලෙස පැවති තරගාවලියේදීත් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති අවසන් මහ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන ‘ඒ’ පිල ඕවර 18.1කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමිනි.

පළමු ඕවරය ක්‍රියාත්මක කළ සහන් ආරච්චිගේ පළමු පන්දුවෙන්ම ඇෆ්ගනිස්තානයට කඩුල්ලක් අහිමි කළත් එක් අන්තයක් රැකගත් සෙඩිකුල්ලා අටල් නොදැවී ලකුණු 55ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. කරීම් ජනත් පන්දු 27කින් ලකුණු 33ක් සහ ඩාර්විෂ් රසූලි ලකුණු 24ක් රැස් කරමින් ජය වේගවත් කළ අතර, මොහොමඩ් ඉෂාක් පන්දු 6කින් ලකුණු 16ක් රැස් කරමින් ඇෆ්ගන් ජය තහවුරු කළේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 15ක් තුළ බිඳ වැටුණු අතර, අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි සහන් ආරච්චිගේ නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 133 දක්වා ඉදිරියට ගෙන ගියේය. පවන් රත්නායක (20) සමඟ 5 වැනි කඩුල්ලට ලකුණු 50ක් එක් කළ සහන්, නිමේෂ් විමුක්ති (23) සමඟ ලකුණු 42ක සබඳතාවක් ගොඩනැඟීය. පන්දු 47කට මුහුණ දුන් සහන් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 64කි.

මේ තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල නුවනිඳු ප්‍රනාන්දුගේ නායකත්වයෙන් තරග කළ අතර, ඔහු වැඩිම විස්සයි20 තරග සංඛ්‍යාවකදී ශ්‍රී ලංකා ‘ඒ’ පිල මෙහෙයවූ නායකයා බවට පත් විය. මින් පෙර දිනේෂ් චන්දිමාල් තරග 4කදී ‘ඒ’ කණ්ඩායමට නායකත්වය දී තිබිණි.

ශ්‍රී ලංකා ‘ඒ’ – 133/7 (ඕවර 20) සහන් ආරච්චිගේ නොදැවී 64, නිමේෂ් විමුක්ති 23, පවන් රත්නායක 20 (බිලාල් සාමි 22/3, මොහොමඩ් ගසන්ෆර් 14/2)

ඇෆ්ගන් ‘ඒ’ – 134/3 (ඕවර 18.1) සෙඩිකුල්ලා අටල් නොදැවී 55, කරීම් ජනත් 33, ඩාර්විෂ් රසූලි 24, මොහොමඩ් ඉෂාක් නොදැවී 16 (සහන් ආරච්චිගේ 8/1, ඒෂාන් මාලිංග 20/1, දුෂාන් හේමන්ත 26/1)