සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ප්‍රථම වරට ශ්‍රී ලංකා පොල් ආශ්‍රිත නිෂ්පාදන සමාගම්

රියාද් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 21 සිට 24 දක්වා රියාද්හි පැවති 41 වෙනි සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය-2024 සඳහා ප්‍රථම වරට පොල් ආශ්‍රීත නිෂ්පාදන සමාගම් 10ක් සහභාගි කරවීම සාර්ථකව සංවිධාන කර තිබුණි.

සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා විසින් මෙහි ශ්‍රී ලංකා මණ්ඩපය නිල වශයෙන් විවෘත කළේය.

මැදපෙරදිග කලාපයේ පැවැත්වෙන වසර 40ක් පැරණි මෙම ජනප්‍රිය සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ප්‍රථම වරට පොල් ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකේය සමාගම් විශාල ප්‍රමාණයක් සහභාගී වීම විශාල ජයග්‍රහණයක් බව උත්සව සභාව ඇමතූ තානාපති අමීර් අජ්වාඩ් මහතා පෙන්වා දුන්නේය. ඉදිරි වසරවලදී තම නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙසද තානාපතිවරයා ශ්‍රී ලංකාවේ අනෙකුත් කෘෂි අංශයේ සමාගම්වලින් ඉල්ලා සිටියේය. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ අපනයන පැස පුළුල් කිරීමට දායකවීම සඳහා මෙවැනි සහභාගීත්වයක් අතිශයින් වැදගත් වන බව ඔහු පැවසීය.

සෞදි අරාබියේ දැක්ම 2030 හි කොටසක් ලෙස හරිත විප්ලවය හරහා ශාක මිලියන 10 ක් සිටුවීමේ සෞදි අරාබියානු අභිලාෂය සැලකීමේදී සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික කොහුබත් අපනයන සමාගම් සහභාගිවීමේ වැදගත්කම තානාපති අමිර් අජ්වාඩ් මහතා මෙහිදි අවධාරණය කරන ලදී. ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන, ශුෂ්ක දේශගුණික ප්‍රදේශවල වඩාත් හොඳ වගා මාධ්‍යයක් වන අතර, එය මෙවැනි හරිත විප්ලවයනට සහය වීම සඳහා ප්‍රවර්ධනය කිරීමට හැකිය.

මුතාබ් බින් ෆහාඩ් බින් ෆර්හන් කුමරු, King Abdulaziz රක්ෂිතයෙහි සහ King Salman රක්ෂිතයෙහි අධ්‍යක්ෂක මණ්ඩල සභාපතිගේ උපදේශක, සෞදි අරාබියේ පරිසර හා කෘෂිකර්ම අමාත්‍යංශයේ සහකාර ස්ථිර ලේකම් ආචාර්ය අලි අල්ෂහි (Dr. Ali Alshaikhi) සහ සෞදි අරාබියේ වාණිජ මණ්ඩල සම්මේලනයේ උප සභාපති සහ සෞදි NAF සමාගම් සමූහයේ සභාපති ෆායිස් අල් ෂහෙලි (Fayez Al-Shaheeli) තානාපතිවරයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා මණ්ඩපයට ගොස් ඵලදායී සාකච්ඡා පැවැත්වීය.

ප්‍රදර්ශනයට සමගාමීව සෞදි හරිත ගොඩනැගිලි සංසදයේ නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා වෙළෙඳ නියෝජිත පිරිස සැසියක් ද පැවැත්වූහ. තානාපති අමීර් අජ්වාඩ් මහතා සෞදි කෘෂිකර්ම ප්‍රදර්ශනයට සපැමිණි ශ්‍රී ලංකා වෙළෙඳ නියෝජිත පිරිසට දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර නියෝජිත පිරිස සමඟ සැසියක් ද පැවැත්වීය.

සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ 41 වැනි අවස්ථාවට රටවල් 29කින් ප්‍රදර්ශකයින් 370කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීනතම තාක්ෂණයන් සහ විසඳුම් ඇතුළු සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ කෘෂි අංශයේ සමාගම් මෙම අවස්ථාවට සහභාගි වූහ. කෘෂිකාර්මික අංශයේ සහභාගිවුවන් අතර සම්බන්ධිකරණය සහ නව වෙළද අවස්ථා නිර්මාණය කිරීම සඳහා ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් සහ ව්‍යවසායකයින් විසින් මෙහෙයවන ලද සම්මන්ත්‍රණ සහ සාකච්ඡා වෙළඳ ප්‍රදර්ශනය අතරතුර සංවිධානය කරන ලදී.

සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය 2024 සඳහා Dew Cocos Lanka (Pvt) Ltd, Earthscape (pvt) Ltd, Eco Soil Substrates (Pvt) Ltd, FNF Exports Ltd, Hardy Export Company (Pvt) Ltd, M.C.prises (Pvt) ඇතුළත් වේ. ) Ltd, Thuselco holdings (Pvt) Ltd , Tropical Green Exports (Pvt) Ltd, Eco Trends (Pvt) Ltd සහ Hayleys PLC. යන ශ්‍රී ලාංකේය සමාගම් සහභාගී විය.