ශ්‍රී ලංකා ක්‍රිකට් ‘සිස්ටම් චේන්ජ්’ එකක්-දක්ෂතා ඇති සෑම ක්‍රීඩකයකුටම අවස්ථාව ලැබෙන පරිදි නිශ්චිත ක්‍රමවේදයක් හදනවා – නායක චරිත් අසලංක

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ අවස්ථාව ලබා ගැනීම උදෙසා ක්‍රීඩකයන් අතරේ දැඩි තරගකාරීත්වයක් ඇති හෙයින් දක්ෂතා අතර සිටින සෑම ක්‍රීඩකයකුටම මාරුවෙන් මාරුවට අවස්ථාව ලැබෙන පරිදි නිශ්චිත ක්‍රමවේදයක් මේ දිනවල සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක පැවසීය. තමන් තේරීම් කමිටුව හා පුහුණුකරු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කොට මේ ‘සිස්ටම්’ එක නිර්මාණය කරමින් සිටින බව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි අවසන් ටෙස්ට් තරගයෙන් අනතුරුව පෙරේදා පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

“ කණ්ඩායමට දැන් ක්‍රීඩකයන් තේරීම හරිම අමාරුයි. දක්ෂ ක්‍රීඩකයන් බංකුවේ වාඩිවෙලා ඉන්නවා. මේ තරගකාරීත්වය කණ්ඩායමක් ලෙස ලොකු ජයග්‍රහණයක්. නායකයා හා පුහුණුකරු බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩකයන් අතර මේ තරගකාරීත්වය තමයි. නිශාන් මධුෂ්ක, හොඳ තත්ත්වයක ඉන්නවා. එහෙම ක්‍රීඩකයෙක් බංකුවේ වාඩිවෙලා ඉන්න එක කණ්ඩායමක් හැටියට හොඳ දෙයක්. වෙල්ලාලගේට හා වැන්ඩර්සේට අවස්ථාවක් දෙන්න විදිහක් තිබුණේ නෑ. මේ තත්ත්වය මත තේරීම් කමිටුව, පුහුණුකරු හා නායකයා ලෙස මා එක්ව සෑම ක්‍රීඩකයකුටම මාරුවෙන් මාරුවට අවස්ථාව දෙන විදිහට මේ දිනවල සිස්ටම් එකක් හදමින් ඉන්නවා” චරිත් අසලංක පැවසීය.

“ඉන්දියාවට හා කොදෙව් පිලට එරෙහි තරගාවලි දෙකම ජය ගැනීම පිළිබඳ සතුටට පත්වෙනවා. ඒ වගේම කොදෙව් පිලට එරෙහිව විස්සයි20 හා එක්දින තරගාවලි 2ක් දිනා ගැනීම පිළිබඳ සතුටුයි. අපි ශ්‍රී ලංකාවේදී වගේම පිටතදී එක දිගට ජයග්‍රහණ අත්කර ගන්නේ කොහොමද කියලා දැන් බලන්න වෙනවා. ඒ වෙනුවෙන් කණ්ඩායම තුළ මොනවගේ අංශ අපි දියුණු කරගත යුතු ද කියා සොයා බලනවා. තෙවැනි එක්දින තරගයේදී අපි පන්දු ඕවර 50 ක්‍රීඩා කළා නම් රාත්‍රී කාලයේ තණතිල්ල වෙනස් වෙනවා. කාලගුණයෙන් ප්‍රශ්න වුණා. නමුත් හොඳ කණ්ඩායමක් වැස්ස ගැන, කාලගුණය ගැන නිදහසට කරුණු කියන්නේ නෑ. අපි ඕවර 17ක් ක්‍රීඩා කළේ ඕවර 50 තරගයකට අනුකූලව. අනතුරුව අපිට ඕවර 6ක් විතර තිබුණේ. මේ වගේ දේවල් වෙනවා. ඒක අපි භාර ගන්න ඕනේ. ඔවුන්ගේ පිතිකරුවන් දෙන්නාට ගෞරවය දෙන්න ඕනේ. රදර්ෆර්ඩ් අර්ධ ශතක තුනක් ලැබුවා. අනිවාර්යයෙන් දිනන්න අවශ්‍ය තරගයක් නම් ඒ තත්ත්වයට හැඩ ගැසෙන්නේ කොහොමද කියන එකයි වැදගත්”

“ක්‍රිකට්වල වැදගත්ම දේ සියයට සියයක් උඩ පන්දු අල්ලා ගැනීම. අපේ ටීම් මීටින්වලදී අපේ පාඨයක් තමයි සියයට සියයක් උඩ පන්දු අල්ලා ගැනීම වැදගත් බව. උඩ පන්දුවකින් විශාල හානියක් කරන්න පුළුවන්. සමහර වේලාවට පිතිකරුකුගේ බින්දුවේදී උඩ පන්දුවක් අත්හැරියාම එයා සියයක් ගත්තොත් තේරෙනවා හානිය මොකක්ද කියලා. අපි ඇනලයිස් කරලා බැලුවාම ලෝකයේ හොඳම කණ්ඩායමක් සියයට 80ක් විතර උඩ පන්දු අල්ලා ගැනීමට දක්ෂයි. අපේ සියයට 83ක් වගේ තිබුණා. නමුත් මේ තරගාවලිය දිහා යළි බැලිය යුතුයි”

“එන්එස්එල් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් මට ලොකු ප්‍රතිඵලයක් ආවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ස්තූති කළ යුතුයි එන්එස්එල් වැනි තරගාවලියක් පැවැත්වීම සම්බන්ධයෙන්. එන්එස්එල් තරගාවලියේදී ජාතික පිලේ ඉන්න – නැති ඕනෑම ක්‍රීඩකයකුට දක්ෂතා දක්වලා ඉදිරියට එන්න පුළුවන්. ඒ වගේ තරගාවලි අපට ඉතාම වැදගත්” ශ්‍රී ලංකා එක්දින නායකයා පැවසීය.

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා – කොදෙව් අවසන් එක්දින තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 23කදී ලකුණු 156ක් ලබාගත් අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කොදෙව් පිලට ඕවර 23කදී ලකුණු 195ක ඉලක්කයක් එල්ලවී එය ඕවර 22කදී වාර්තා කළේය. පැතුම් නිශ්ශංක ලකුණු 56ක්, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56ක් ලබාගත් අතර, එවින් ලෙවිස් පන්දු 61කදී හයේ 4ක් හා හතරේ පහර 19ක් සමඟ නොදැවී ලකුණු 102ක් ලබා ගත්තේය. ෂෙර්ෆාන් රදර්ෆර්ඩ් පන්දු 26කදී හයේ 3ක් හා හතරේ 4ක් සමඟ නොදැවී ලකුණු 50ක් ලබා ගැනීමත් සමඟ කොදෙව් පිල කඩුලු 8කින් ජය වාර්තා කළේය.