ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාරයක් ඉරාන හමුදා සෙබළු 3ක් මියයති-අමෙරිකාවේ සම්බන්ධයක් නැතැයි ධවල මන්දිරය කියයි

ඉරානය හා ඉරානයේ සහාය ලැබෙන හෙස්බුල්ලා ඇතුළු කණ්ඩායම් වෙතින් දිගින් දිගටම එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව ඊශ්‍රායලය ප්‍රසිද්ධියේ පිළිගත් පළමු අවස්ථාව මෙය වේ.

ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වූයේ පසුගිය පළමු වෙනිදා ඉරාන හමුදාව ටෙල් අවීව් නුවරට එල්ල කළ මිසයිල ප්‍රහාරයට බවත්, ඉදිරියේදී යළි ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ප්‍රතිචාර මීට වඩා දරුණු වනු ඇතැයි ද ඊශ්‍රායලය අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ ඉල්හාම්, කුසස්තාන් නගරවල පිහිටි හමුදා කඳවුරු 20ක් ඉලක්ක කරමින් පසුගිය සෙනසුරාදා එම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඉන් ඉරාන හමුදා සෙබළුන් සිව්දෙනකුට ජීවිත අහිමි වූ බව වාර්තා වේ.

ඉරාන ප්‍රහාරයට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සහ ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට්ගේ අනුමැතිය ලැබී ඇත්තේ පසුගිය සිකුරාදා පස්වරුවේ එරට පැවති කැබිනට් රැස්වීමකදී බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඒ අනුව සෙනසුරාදා අලුයම ටෙහෙරාන් අගනුවරට පළමු ප්‍රහාරයත්, ඊට පැය තුනකට පසු ටෙහෙරාන්, ඉල්හාම් සහ කුසස්තාන් නගරවලට දෙවැනි ප්‍රහාරයත් එල්ල වී තිබේ.

ප්‍රහාරයට පෙර ඊශ්‍රායලයෙන් ඉරානයට අනතුරු ඇඟවීමක් සිදු කර ඇතැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළද, ඉරානය එවැනි අනතුරු ඇඟවීමක් ගැන සඳහන් කර නැත.

ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර එල්ල වීමත් සමඟ සිය ගුවන් සීමාව වසා දැමීමට ඉරාන රජය පියවර ගෙන ඇති අතර, එය නැවත විවර කර ඇත්තේ ඊයේ උදෑසන බව වාර්තා වේ.

ඉරානයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට අමෙරිකාවේ කිසිදු සම්බන්ධයක් නැති බව ධවල මන්දිරය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති අතර, එවැනි ප්‍රහාරයක් සිදුවිය හැකි බවට ජනාධිපති ජෝ බයිඩ්න්ට තොරතුරු ලැබී තිබුණු බවත් සදහන් කර තිබේ.

ඊශ්‍රායලයෙන් එල්ලවූ ප්‍රහාර රැසක් ගුවන් ආරක්ෂක පද්ධතියෙන් විනාශ කළ බව ඉරාන රජයේ මාධ්‍ය ප්‍රකාශ කර ඇති අතර, ප්‍රහාරයට සහභාගි වූ සියලු ගුවන් යානා නිරුපද්‍රිතව යළි පැමිණි බව ඊශ්‍රායලය තහවුරු කර ඇත.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ ඇම­ැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයට සහ ලෙබනනයට සහාය දැක්වීම ඊශ්‍රායල ප්‍රහාරයෙන් නැවැත්විය නොහැකි බවය.