ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව නිසි ලෙස සම්පූර්ණ කර තිබීම හේතුවෙන් විදේශීය සංචාරකයන් සඳහා ගමනාන්ත සියල්ල විවෘත බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අවධාරණය කරයි.
ඒ අනුව මෙරට සංචාරය කිරීමේදී අනියත බියක් ඇති කර ගත යුතු නොමැති අතර මෙරට සංචාරක ගමනාන්ත සියල්ලම ආරක්ෂිත බව සහ එම ගමනාන්ත සියල්ල සංචාරකයන් සඳහා විවෘත බවට ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි.
මෑතකදී මෙරටට පැමිණි කිසිදු විදේශීය සංචාරකයකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී නොමැති බව පෙන්වාදෙන ඒ මහතා මේ දිනවල ඊශ්‍රායල් සංචාරකයන් විශාල පිරිසක් මෙරට තුළ නොමැති බවද සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද කියා සිටී.
ඊශ්‍රායලය, මැදපෙරදිග කලාපයේ හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සිදු කරනු ලබන ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පසුගියදා ප්‍රථම වරට කරුණු අනාවරණ කළ අතර එම නිවේදනය පදනම් කර ගනිමින් බ්‍රිතාන්‍ය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ රුසියාව ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් මාලාවක් යාවත්කාලීන කිරිමට පියවර ගත්තේය.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය රටේ ආරක්ෂාව සහතික කර තිබෙන බව ප්‍රකාශ කර තිබෙන අතර විදෙස් සංචාරකයන්ට මෙරට සංචාරය කිරීමේදී කිසිඳු ගැටලුවක් ඇති නොවන බවද කියා සිටී.