ආසියානු ක්‍රිකට් කවුන්සිලය නැඟී එන ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධාන කරන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
අවසන් වරට පසුගිය වසරේ පැවති තරගාවලියේ ශූරයන් වූ පාකිස්තාන සහීන්ස් (‘ඒ’) කණ්ඩායම සමඟ ඊයේ පස්වරුවේ ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 7ක ජයක් අත්කර ගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 135ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 16.3කදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 3ක් පමණක් දැවී තිබියදීය.
ශ්‍රී ලංකා ඉනිමට වේගවත් ආරම්භයක් දුන් ළහිරු උදාර හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟ පන්දු 20කින් ලකුණු 43ක් රැස් කළ අතර, අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 52ක් රැස් කරමින් ජය තහවුරු කළේය. ළහිරු සමඟ දෙවැනි කඩුල්ලට පන්දු 37කින් ලකුණු 64ක සබඳතාවක් ගොඩනැඟූ අහන් සිව්වැනි කඩුල්ලට සහන් ආරච්චිගේ (17) සමඟින් ලකුණු 32ක් එක් කළේ පන්දු 31කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහරකින් සවිමත් විය.
පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ඔමේර් යූසුෆ් පන්දු 46කින් ලකුණු 68ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟිනි. සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවට පිවිසීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.
තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන දුෂාන් හේමන්ත (10) ඊයේ සිය කඩුලු සංඛ්‍යාවට තවත් කඩුලු 4ක් එක් කරගත් අතර, නිපුන් රන්සික සහ ඒෂාන් මාලිංග කඩුලු 2 බැගින් දවා ගත්හ. දුෂාන් පිට පිට දෙවැනි වරටත් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
ශ්‍රී ලංකාව මේ තරගාවලියේ අවසන් තරගයට පිවිසි තෙවැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර 2017 සහ 2018 වසරවලදී ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබේ. තරගාවලිය ආරම්භ වූ 2013 සහ 2017 අවුරුදු 23න් පහළ තරගාවලියක් ලෙසත්, 2018, 2019 නැඟී එන කණ්ඩායම් එක් වූ තරගාවලියක් ලෙසත් පැවති මේ තරගාවලිය 2023 වසරේ සිට ආසියාවේ ප්‍රධාන රටවල ‘ඒ’ කණ්ඩායම් සහ සෙසු රටවල් 3ක ජාතික කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වේ.
දෙවැනි අවසන් පූර්ව තරගය ඊයේ රාත්‍රියේ ඉන්දීය ‘ඒ’ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම තරගයේ ජයග්‍රාහකයන් සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර අවසන් මහා තරගය හෙට (27) මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට පැවැත්වේ.
පාකිස්තාන සහීන්ස් – 135/9 (ඕවර 20) ඔමේර් යූසුප් 68, හයිදර් අලි 14 (දුෂාන් හේමන්ත 21/4, නිපුන් රන්සික 21/2, ඒෂාන් මාලිංග 28/2)
ශ්‍රී ලංකා ‘ඒ’ – 137/3 (ඕවර 16.3) අහන් වික්‍රමසිංහ නොදැවී 52, ළහිරු උදාර 43, සහන් ආරච්චිගේ නොදැවී 17