ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ ළඟදීම සිදු කෙරෙන තුන්වන සමාලෝචනය කරා කඩිනමින් යෑමට එමඟින් අවස්ථාව උදා කර ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු රැස්වීම් හා සමගාමීව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාව සමඟ පවතින ණය විස්තීර්ණ වැඩසටහන යටතේ තුන්වන සමාලෝචනය වෙත කඩිනමින් එළඹීමට බලාපොරොත්තු වෙනවා. මේ සතියේ පැවත්වෙන වාර්ෂික රැස්වීම් අතරතුර ශ්‍රී ලංකාව සමඟ පවතින මූල්‍ය වැඩසටහන සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. නව ආණ්ඩුව බලයට පත්වූ පසු මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ කණ්ඩායමක් මෙම මස මුලදී මෙරටට පැමිණියා.
නව ආණ්ඩුව පත්වෙලා තාම කෙටි කාලයයි. මගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ කණ්ඩායමක් සාකච්ඡා සඳහා සහ බලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගන්න කොළඹට ගියා. නව ආණ්ඩුව සහ ඔවුන්ගේ කණ්ඩායම සමඟ අපි ඉතා සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා.
එම සාකච්ඡා තවදුරටත් වාර්ෂික රැස්වීම් අතරදී පැවැත්වෙනවා. දැන් හොඳ එකඟතාවයක් තිබෙනවා. එය ඒකමතික එකඟතාවයක්.
2022 වසරේදී ආර්ථික අගාධයට ඇදෙමින් තිබූ ශ්‍රී ලංකාව, පසුගිය කාර්තු හතර තුළ ධනාත්මක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව නිල ණය හිමියන් සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ගිවිසුම්වලට එළඹීමේදී නෛතික වශයෙන් එකඟතාවකට පැමිණීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා.