මුදල් ඇමැති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා අනුමත කරගත් නීත්‍යනුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් සමඟ කොළඹ මල් පාරේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු කාර්යාලයේදී පසුගියදා (23) පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා:
“රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම සඳහා අප විසින් ගනු ලැබූ කැබිනට් තීරණය ගැන පැහැදිලි කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 43 වගන්තිය යටතේ එම කාර්යය කර තිබෙනවා. අප එම වේතන වැඩි වීම සිදු කළේ සියලු රාජ්‍ය සේවකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි. එම වේතන වැඩි කිරීමේ ඉල්ලීම සාධාරණයි. 2022 වසර වන විට ජනතාවගේ වේතනවල වටිනාකම 50%කින් අඩු වුණා. ඔවුන් ජීවත් වුණේ අමාරුවෙන්. ඔවුන්ට ණය වෙන්න සිදු වුණා. සමහර අයට දේපළ විකුණන්න සිදු වුණා. මා පාලනය භාරගත් මුල් යුගයේ ඔවුන්ට සහනයක් දෙන්න හැකියාවක් තිබුණේ නෑ. මා එය රටට ප්‍රකාශ කළා. සමහරු විසි දහසකින් පඩි වැඩි වැඩි කරන ලෙස ඉල්ලා සිටියා.
“2024 වසරේදී මා රුපියල් දස දහසකින් වේතන වැඩි කළා. ඒත් එය ප්‍රමාණවත් නැහැ. මුදලේ වටිනාකම 50%කින් අඩු වූ විට ජනතාවට ප්‍රශ්න ඇති වෙනවා. සමහර දරුවන් උදෑසන කෑම නොගෙන පාසල් පැමිණි අවස්ථා තිබෙනවා. බොහෝ පවුල්වල දරුවන් ටියුෂන් පන්ති යෑම නතර කළා. හොඳ හෝ නරක හෝ අද ටියුෂන් පන්ති අවශ්‍යයි. මේ සමාජ පද්ධති කඩාවැටෙනවට මා කැමැති වුණේ නැහැ. ඒ අනුව රාජ්‍ය සේවක පඩි වැඩිවීම සම්බන්ධයෙන් සොයා බැලීමට මා උදය සෙනෙවිරත්න කමිටුව පත් කළා. ඔවුන්ට තීරණයක් ගැනීමට මාස තුනක කාලයක් දුන්නා. එහෙත් කමිටුව ඊට පෙර වාර්තාව ලබා දුන්නා. මා කමිටු සභාපති උදය සෙනෙවිරත්න මහතාගෙන් ඒ පිළිබඳ විමසුවා. මෙය විශාල ප්‍රශ්නයක් බැවින් ඊට උපකාර කළ යුතු බව ඔහුත් සඳහන් කළා. අදාළ වේතන වැඩි කිරීම සඳහා කොපමණ මුදලක් වැයවෙනවා දැයි මා විමසුවා. ඔහු කියූ මුදල දෙන්න හැකියාව තිබේදැයි මා භාණ්ඩාගාර ලේකම්ගෙන් විමසූ විට ඔහු පැවසූයේ එතරම් මුදලක් දීමට නොහැකි බවයි. අපගේ අයවැයට මෙතරම් මුදලක් දරාගන්න නොහැකි වනු ඇතැයිද භාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දුන්නා. ඒ කාරණය උදය සෙනෙවිරත්න මහතාට දැනුම් දෙන ලෙස මා පැවසුවා.
“එමෙන්ම ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කොට අදාල පඩි වැඩිවීම කරන්නේ කෙසේදැයි සොයා බලන ලෙසත් මා පැවසුවා. ඒ පිළිබඳව සාකච්ඡා කොට එකඟත්වයකට පැමිණ තිබෙන බවත් පඩි වැඩි වීම එකවර නොදී එක වසරකදී සියයට පනහක් ලබාදී අනෙක් වසරේදී ඉතිරි පනහ ද ලබාදීමට හැකියාව තිබෙන බවත් පසුව ඔවුන් මට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදී මා මගේ ලේකම්ව සිටි සමන් ඒකනායක සමග පළමුවෙන් සාකච්ඡා කළා. එමෙන්ම මගේ ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග සමඟත් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සමගත් මා සාකච්ඡා කළා. අවසානයේදී අප මෙලෙස පඩි වැඩීම ලබාදීමට එකඟතාවයට පැමිණියා. අපි එකඟ වූ අයුරින් පඩි වැඩි වීම කළත් මුදලේ වටිනාකම අඩු වීමේ අවාසිය පියවීමට හැකියාව ලැබෙන්නේ නැහැ.නමුත් මේ තීරණය නිසා යම් සැලකිය යුතු පමණකට අස්වැසිල්ලක් ලැබෙන බව අප දැනගෙන සිටියා. ඒ අනුව රාජ්‍ය සේවක වේතන වැඩි කිරීමේ කැබිනට් පත්‍රිකාව මා මුදල් ඇමැති ලෙස ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාවට මා අත්සන් කර තිබෙන්නේ ජනාධිපතිවරයා හැටියටයි. ජනාධිපතිවරයා ලෙස අදාළ පත්‍රිකාවට අත්සන් කරන විට නැවත මුදල් අමාත්‍යාංශය ලෙස ලිපි ශීර්ෂ ඉදිරිපත් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ජනාධිපතිවරයා ලෙස අත්සන් කිරීම නීත්‍යානුකූලයි. ඒ අනුව අදාළ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ගෙවිය යුතුයි.
“එමෙන්ම මේ වැටුප් වැඩි වීම දීමේදී මා සලකා බැලූ තවත් කාරණයක් තිබෙනවා. ඒ අපගේ රාජ්‍ය ආදායම සියයට දොළහේ සිට ලබන වසර වන විට සියයට දහතුනක් කිරීමට අවශ්‍ය බවයි. මා ඒ අනුව මේ වැටුප් වැඩි වීම අනුමත කර තිබෙනවා. අදාළ වේතන වැඩිවීම ලබාදීමට මුදල් තිබෙනවා. මුදල් නැතැයි කියනවා නම් ඒක පුදුම කතාවක්. එලෙස පඩි වැඩි කිරීමට තිබූ මුදල් කොහිදැයි ආණ්ඩුව විස්තර කළ යුතුයි. මේ පඩි වැඩි වීම කල් දාන්න එපා. මොකද ජනතාවට ජීවත් වන්නට හැකියාවක් නැහැ. මාලිමාව දුන්න පොරොන්දු ඉටු කරන්න බැරි නම් අප දුන්න පොරොන්දු හරි ඉටු කරන්න. දැන් රාජ්‍ය සේවකයන් මේ සටන ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. මේ සටන දැන් තිබෙන්නේ ඔබේ අතේ. දැන් සජබෙ ගිහින් අනුර දිසානායක ජනාධිපතිතුමාට සහාය දෙන බවත් හැප්පෙන්නේ නැති බවත් කියා තිබෙනවා. ඉතින් මේ වගකීම ඔබ භාරගෙන ඉදිරියට ගෙන යා යුතුයි.”