ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න බය වෙන්න එපා

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ
– ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බැවින් එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලොව පුරා සිටින සංචාරකයන්ට ආරාධනා කර තිබේ.

ලොව සියලු සංචාරකයන්ට ආරක්ෂාකාරීව මෙරට සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බව පෙන්වාදෙන එම අධිකාරිය සියලු සංචාරකයන් මෙරට රැඳී සිටින කාලය තුළදී ඉහළම ආරක්ෂාවක් ලබාදෙන බව ද කියා සිටී.

එසේම ආරක්ෂක අමාත්‍යාංශය ද රට තුළ සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන් කරන සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික වන බව ද පවසයි.

විදේශිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු යම් තොරතුරු මත ආරක්ෂක මණ්ඩලය රැස්වී ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළ අතර ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බව ද ඒ මහතා පෙන්වාදෙයි.