වෙලේ සුදාට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ විත්තියේ දේශන ලබන 30දා

හෙරොයින් ජාවාරම් කිරීම මඟින් වසර 2කකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයාගත් බවට චෝදනා ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේ විත්තියේ දේශන ලබන 30දා පැවැත්වීමට කොළඹ මහාධිකරණය පෙරේදා (23) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ පසුගියදා (22) නඩුව විභාගයට ගත් අවස්ථාවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි. වෙලේ සුදා නමැත්තාට අමතරව ඔහුගේ බිරිය හා සහෝදරියට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ නඩු පවරා තිබේ.

2010 ජනවාරි පළමු වැනිදාත් 2012 අප්‍රේල් 25 වැනිදාත් අතර කාලයේදී කොළඹ හා අවට ප්‍රදේශවලදී හෙරොයින් ජාවාරම් කිරීමෙන් මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කළ බවට සහ ඒ අනුව එලෙස හෙරොයින් ජාවාරම් කර මුදල් හා දේපළ උපයාගත් බවට නීතිපතිවරයා විසින් චෝදනා 57ක් මත විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

වසර දෙකක කාලයක් තුළ කළ හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදලින් කළම්බු රෙසිඩන්ස් නිවාස සංකීර්ණයෙන් නිවාස දෙකක්, රාජගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයෙන් නිවාස දෙකක්, කොළඹ 07 බගතලේ පාරෙන් සුවිසල් නිවාස දෙකක්, කොළඹ නගරයෙන් තවත් නිවාස දෙකක්, අති සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. සහ ලෑන්ඩ් රෝවර් රථ, රන් ආභරණ, බැංකු ගිණුම්වල මුදල් තිබූ බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් කොළඹ, දෙහිවල, රාජගිරිය, මාදිවෙල ඇතුළු ප්‍රදේශ කීපයක නිවාස හා දේපොළ අත්පත් කර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කොට වෙලේ සුදා, ඔහුගේ බිරිය වන පිලිදුව බෝලහවත්තගේ ගයානි ප්‍රියදර්ශනී සහ ඔහුගේ ඥාති නැඟණියක වන වසන්ති වසුන්දරා නමැති තැනැත්තන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මේ නඩුව පවරා ඇත. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙයවීය‍.