ජනපතිවරණයේදී මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පිරිස ගැන ඉදිරි පියවර ගැනීමට යයි

මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉකුත් ජනාධිපතිවරණයේදී මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් තිදෙනෙක් සහ පක්ෂ 10ක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

ඊයේ (24) සිට එම වාර්තා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කළ අතර ආදායම් වියදම් වාර්තා නියමිත දිනට ලබා නොදුන් අය සම්බන්ධයෙන් මේ පියවර ගෙන තිබේ. මැතිවරණ වියදම් වාර්තා ලබා නොදුන් පිරිස අතර බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න සහ අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයන් සහ පක්ෂ 10ක් සිටින බව කොමිසම පැවැසීය.

සියලු අපේක්ෂකයන් ආදායම් වියදම් වාර්තා දී තිබුණේ නැති අතර ඔවුන් සම්බන්ධයෙන් නෛතික කටයුතු සිදු කිරීම ඇතුළු ඉදිරි පියවර ගැනීමට කොමිසම මේ පියවර ගෙන ඇත.

ජනාධිපතිවරණය ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන් ඇතුළු අපේක්ෂකයන් 35ක් අදාළ වාර්තා ලබා දී තිබිණි. නියමිත කාලයේදී ආදායම් වාර්තා ලබා නොදුන් අය ඒවා භාරදීමට තිබූ කාලය ඉක්මවීමෙන් පසු තැපෑලෙන් කොමිෂන් සභාව වෙත එවා තිබූ බව කොමිසම් සභා ආරංචි මාර්ග පවසයි.

කල් ඉකුත්වීම හේතුවෙන් ඒවා භාර ගැනීමට කොමිසම කටයුතු කර නැති අතර පොලිස්පතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් ඉදිරියේදී ලබා ගනු ඇතැයි ද කොමිසම ප්‍රකාශ කරයි.