ඩයනාට එරෙහි නඩු හතේ සාක්ෂි විමසීම පෙබ. 6 දා

ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපතක් ලබාගැනීම හා වලංගු වීසා බලපත් නැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින් පවරා ඇති නඩු 7හි සාක්ෂි විභාගය ලබන පෙබරවාරි 6 දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (24) නියෝග කළේය.

නඩුවල සාක්ෂි විභාගය ඊයේට (24) නියම කර තිබුණත් ඩයනා ගමගේ මහත්මියගේ නීතිඥවරයා අසනීප වීම හේතුවෙන් වෙනත් දිනයක් දෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය කල් තැබීමට නියෝග කළේය. මේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ සහ සාක්ෂිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ. සිද්ධියේ සාක්ෂිකරුවන් දෙදෙනකුට ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද පසුගිය නඩු වාරයේදී නියෝග කළ තිබිණි. සාක්ෂිකරුවන් වන ආගමන විගමන පාලක ජනරාල්වරයාට හා කොළඹ මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකරුට එසේ නොතීසි නිකුත් කෙරිණි. අදාළ සාක්ෂිකරුවන් දෙදෙනාට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෝසමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම විය.