ගෙවී ගිය වසර දෙකට HIV ආසාදිතයෝ 700ක්-ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා

ශ්‍රී ලංකාවේ පසුගිය අවුරුදු දෙකට එච්.අයි.වී. ආසාදිතයන් 700ක් අලුතින් හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වින්ධ්‍යා කුමාරපේලි මහත්මිය අනුරාධපුරයේ පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේදී පැවසීය.

සැක සහිත පුද්ගලයන් වාර්ෂිකව මිලියන දෙකක් පමණ පරීක්ෂණයට ලක් කරන බව ද ඇය පැවසුවාය. දැනට ලංකාවේ එච්.අයි.වී. ආසාදිත රෝගීන් 3500ක් පමණ සිටින බව ද කියා සිටියාය. දැනට ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයන්ගේ පැතිරීමේ අනුපාතය සියයට දශම එකක (0.1%) ක අඩු ප්‍රමාණයක් බවද ඇය කියා සිටියාය.

එච්.අයි.වී. ආසාදිතයන් අතර වයස අවුරුදු 15ට අඩු දරුවන් සහ කාන්තාවන්ද සිටින බවත් ඒ අතර අවුරුදු 15ට වැඩි පිරිමි දරුවන් ද සිටින බවත් ඇය පැවසුවාය.

එච්.අයි.වී. ආසාදිතයන් වැඩිපුර සිටින්නේ බස්නාහිර සහ දකුණු පළාත්වල බව ද කුමාරපේලි මහත්මිය පැවසුවාය.

දැනට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එච්.අයි.වී. ආසාදිත රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවද ඇය පැවසුවාය.

ඉදිරියේදී එච්.අයි.වී. ආසාදිතයන් ලංකාව පුරා 4700ක් පමණ දෙනකු සොයා ගැනීමට හැකිවෙතැයි ඇස්තමේන්තු කරන බව ද ඇය කීවාය.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර එච්.අයි.වී. ආසාදිත තත්ත්වය වර්ධනය වීමක් පෙන්නුම් කරන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ එච්.අයි.වී. ආසාදිතයන්ගේ වර්ධනයක් ඇති බව ද ඇය කීවාය. විදේශ රැකියා ආයතන වැඩි බැවින් මේ තත්ත්වයට එයට හේතුවක් බව ඇය පෙන්වා දුන්නාය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා සඳහන් කළේ ඒඩ්ස් ආසාදිත රෝගී කතක් ඇසුරු කළ පුද්ගලයකු පැය දෙකක් ඇතුළත සායන මධ්‍යස්ථානයකට පැමිණ ප්‍රතිකාර ලබා ගතහොත් රෝගය පැතිරීම නිවාරණය කළ හැකි බවයි.

රෝග ලක්ෂණ පෙන්නුම් කළ වහාම ප්‍රතිකාර ගතහොත් රෝග නිවාරණය කළ හැකි බව ද වෛද්‍ය අජිත් කරවිට මහතා කීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මේ වසරේ මෙතෙක් ගෙවී ගිය කාලයේ පමණක් එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන් 17ක් හඳුනාගෙන ඇති බව ද ඔහු පැවසීය. ඒ අතර චීවරධාරීන් කීපදෙනකු සිටින බවද පැවසීය. දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ එච්.අයි.වී. ආසාදිතයන් 147ක් සිටින බවද විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා පැවසීය.

විශේෂඥ වෛද්‍ය චම්පික ගුණවර්ධන මහතාද මේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මේ වසරේ දැනට එච්.අයි.වී. ආසාදිතයන් 5ක් හඳුනාගෙන ඇති බවයි. දැනට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එච්.අයි.වී. ආසාදිතයන් 107 දෙනකු සිටින බවද ඔහු කීවේය. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එච්.අයි.වී. ආසාදිතයන් 7ක් මේ වනවිට මිය ගොස් ඇති බවද වෛද්‍ය අජිත් කරවිට මහතා වැඩිදුරටත් සඳහන් කළේය.