ඉන්දියාව පාලි බස සම්භාව්‍ය භාෂාවක් කිරීමේ තීරණයට මෙරට සංඝ ප්‍රජාවේ සහ බෞද්ධ විද්වතුන්ගේ ප්‍රසාදය

ඉන්දියාව පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීමේ තීරණයට ශ්‍රී ලංකාවේ සංඝ ප්‍රජාව සහ බෞද්ධ විද්වතුන්ගේ ප්‍රසාදය හිමිව තිබේ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ‘සම්භාව්‍ය භාෂාවක් ලෙස පාලි’ යන මැයෙන් සංවිධාන කරන ලද විද්වත් සාකච්ඡාවක් එම මධ්‍යස්ථානයේ දී පැවැති අතර නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා මේ අවස්ථාවට සහභාගි වූහ.

බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු,ජාතික ඒකාබද්ධතා,සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ඉන්දීය රජය විසින් පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීම නිමිත්තෙන් මේ විද්වත් සාකච්ඡාව සංවිධාන කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

හුණුපිටිය, ගංගාරාම විහාරයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් සමාරම්භක දේශනය කළ අතර ඉන් අනතුරුව විද්වත් සාකච්ඡාව පැවැත්විණි.මේ විද්වත් සාකච්ඡාවට බුද්ධ ගයාවේ දකුණු බිහාරයේ මධ්‍යම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආනන්ද් සිං මහතා,පාලි සහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මිරිස්වත්තේ විමලඥාන හිමි,ශ්‍රී ලංකා බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝනදෙණියේ පඤ්ඤාරතන හිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්ය දෙණියායේ පඤ්ඤාලෝක හිමි සහ කොළඹ විශ්ව විද්‍යාල‌යේ බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්ය එම්. සුගතසිරි හිමිවරු සහභාගි වූහ.

විද්වත්හු මේ සාකච්ඡාව අතරතුර දී බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ලෝකයට දායාද කිරීමෙහිලා පාලි භාෂාවේ වැදගත්කම අවධාරණය කර තිබෙන අතර ශ්‍රී ලාංකික විද්වත්හු පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස පිළිගැනීමේ ඉන්දීය රජයේ සුවිශේෂි තීරණය අගය කර ඇත.එය බෞද්ධ උරුමය සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව දක්වන දැඩි කැපවීමේ පිළිබිඹුවක් බව සඳහන් කළහ.

ඉන්දීය රජය විසින් පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංඝ සහ විද්වත් ප්‍රජාවන් විසින් තවදුරටත් පාලි භාෂාව සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකිරීමට අවස්ථා විවර කරනු ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.මේ වැඩසටහනට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය,මියන්මාරය සහ නේපාලය රටවල්වලින් භික්ෂූන් වහන්සේ සහ විද්වතුන් රැසක් සහභාගී වූහ.

පසුගිය 17 දා පැවති ජාත්‍යන්තර අභිධර්ම දින උත්සවයේ ඉන්දීය අගමැතිවරයාගේ පණිවිඩය ශක්තිමත් කරමින් මේ සාකච්ඡා පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීම සාමය, සහානුකම්පාව සහ මනුෂ්‍ය වර්ගයාගේ සුබසිද්ධිය උදෙසා බුදුන් වහන්සේගේ පණිවිඩය එහි නිර්මලත්වය රැක ගනිමින් පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යාම සඳහා මහෝපකාරී වනු ඇති බව ද විද්වත් සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

ඉන්දීය රජය විසින් පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස පිළිගැනීම ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ගිහි පැවිදි ශාස්ත්‍රීය ප්‍රජාවගේ භාෂාමය පර්යේෂණවලට වඩාත් වැඩි සහයෝගිතාවක් දැක්වීමට ඉවහල් වන බව ගංගාරාම විහාරාධිපති කිරින්දේ අස්සජි නාහිමියෝ පවසති.

එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳව අධ්‍යයනයේදී පාලි භාෂාව යනු අතිශය වැදගත්කමක් දක්වන භාෂාවක් බැවින් බෞද්ධ උරුමය සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමටත් එය ප්‍රචාරණය කිරීමටත් භාරතයේ ඇති කැපවීම මෙයින් මනාව පිළිබිඹු කරන්නේයැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.