අනුරාධ ජයරත්නගේ භෝජන සංග්‍රහය නවතයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට අයත් දොළුව ප්‍රදේශයේ පිහිටි නිවෙසේදී පාක්ෂිකයන් පිරිසකට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදෙන බවට ලද තොරතුරක් මත පෙරේදා (24) එම ස්ථානයට ගිය මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ආහාරපාන ලබාදීම අත්හිටුවන ලෙස දැනුම් දී තිබේ.

අදාළ නිවෙස පරීක්ෂාවට ලක්කර තිබෙන්නේ ට්‍රාන්ස්පේරන්සි ආයතනය මඟින් ලබාදුන් තොරතුරකට අනුවය.

මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් ගම්පොළ පොලිසියේ නිලධාරීන් සමඟ අදාළ ස්ථානයට යන විට 100 දෙනකුට පමණ බුෆේ ක්‍රමයට ආහාර ලබා දීමට සූදානම් කර තිබී ඇත.

එම අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා නිවෙසේ නොසිටි බවත් පාක්ෂිකයන්ට සංග්‍රහ කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව ඔහුගේ බිරියට පහදා දුන් බවත් මැතිවරණ කාර්යාලය පවසයි.

මෙම රැස්වීමට ගම්පොළ හා ඒ අවට ගම්මාන රැසක පදිංචිකරුවන් සිය ගණනක් බස් රථවලින් රැගෙන පැමිණ තිබෙන බව අනාවරණය වී තිබේ.