හේමා ප්‍රේමදාසට ලක්ෂ 32ක ඉන්ධන කූපන්පත් නිකුත් කරලා

දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා රුපියල් තිස් දෙලක්ෂ පනස්දහසක (3,250,000) ඉන්ධන කූපන්පත් නිකුත් කර තිබේ.

මෙය 2023.01.01 සිට 2024.10.07 දක්වා කාලය තුළ නිකුත් කරන ලද ඉන්ධන කූපන්පත් වටිනාකම වේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඩීසල් ලීටර 1200ක් සහ පෙට්‍රල් ලීටර 750ක් මාසිකව හිමි වන අතර මාසයේ පළමු දිනට ඉන්ධනවල පවතින වෙළෙඳපොළ වටිනාකම අනුව උපරිම වටිනාකම ඉක්මවා නොයන පරිදි අදාළ කාලසීමාව තුළ ඉන්ධන කූපන්පත් නිකුත් කරනු ලැබේ.

ඒ අනුව විශ්‍රාමික ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරියට ගිය වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා නිකුත් කරන ලද ඉන්ධන කූපන්පත් වටිනාකම රුපියල් 3,250,000ක් වේ.