ලොහාන් රත්වත්තට එරෙහි නඩුව ජනවාරි 30 වැනිදා යළි විභාගයට ගැනීමට නියෝගයක්

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස සිටි ලොහාන් රත්වත්තේ මහතා රාත්‍රි කාලයේ බීමත්ව අනුරාධපුර බන්ධනාගරයට ඇතුළුවී එහි රඳවා සිටි දමිළ ජාතික රැඳවියකුගේ නළලට පිස්තෝලයක් තබා සාපරාධී බිය ගැන්වීමක් කළැයි කියන සිද්ධියට අදාළ නඩුව ලබන ජනවාරි මස 30 වැනි දින යළි විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ඊයේ (24) නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවත්වනු ලැබූ විමර්ශනයේ වාර්තාව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මීට පෙර කර තිබූ නියෝගයකට අනුව මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කෙරිණී.

මෙම නඩුව ඊයේ (24) යළි කැඳවූ අවස්ථාවේ සැකකාර හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් එවින්ද රත්වත්තේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි රැඳවියකු වන පුබාලසිංහම් සූරිය පාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බියවැද්දීමක් කර තර්ජනය කර ඇති බවය. ලංකා දණ්ඩ නීති සංග්‍රයේ 183 වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණ වන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 486 වන වගන්තිය යටතේ මෙම අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කරන බව ද කොළඔ අපරාධ කොට්ඨාසය තවදුරටත් අධිකරණයට සැළ කර සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කොළඔ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකරි නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත උප පොලිස් පරික්ෂක ඒ.එච්.එල්. සුමනසිරි මහතා සමඟ රජයේ අධිනීතිඥ සමදරී පියසේන මහත්මිය පෙනී සිටි අතර විත්තිකාර රාජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් නීතිඥ නුවන් ඩී. අල්විස් සහ නිශ්ශංක පීරීස් යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියහ.

අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥයින් වන කේසවන් සජන්දන් සහ බෙනස්ලන් යන මහත්වරුන් සමඟ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටි අතර මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.