බූස්සේ හිරගෙයි සෝදිසියකින් ජංගම දුරකතනයක් සහ දුරකතන කොටස් සොයාගනී

බූස්ස බන්ධනාගාරයේ විශේෂ සෝදිසි කිරීමකදී ජංගම දුරකතනයක් සහ දුරකතන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (23) අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයේ A වාට්ටුවේ සහ විශේෂ අංශයේ පිහිටා ඇති බන්ධනාගාර රෝහල, බන්ධනාගාර නියාමක විවේකාගාරය, බන්ධනාගාර ජේලර් විවේකාගාරය, වැඩඅංශයේ (පාටි) රැඳවියන් රඳවා සිටින ස්ථාන හදිසි සෝදිසි කිරීමක් කර අත්අඩංගුවට ගැනීම් කර ඇත.

එහි දී බන්ධනගාරයේ පැරණි අංශයේ A වාට්ටුවේ ජංගම දුරකතනයක් සහ සිම්පතක් ද බන්ධනාගාර නියාමක විවේකගාරයේ ජනේලයක් මත තිබී ජංගම දුරකතන බැටරියක් හා බන්ධනාගාර ජේලර් විවේකාගාරය සිවිලිම උඩ තිබී පිටත ආවරණය ඉවත් කරන ලද චාජර් කොටසක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමට කටයුතු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් බූස්ස බන්ධනාගාර කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.ජී.සී.කේ. රාජපක්ෂ සහ තිලකරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ අත්අඩංගුවට ගැනීම් කර තිබේ.