බිත්තරයක් රු.41ට අඩුවෙන් දෙන්න නිෂ්පාදන සංගම් එකඟතාවකට එයි

බිත්තරයක් රුපියල් 41ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි ලෙස වෙළෙඳපොළට බිත්තර නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

බිත්තර නිෂ්පාදන සංගම්වල නියෝජිතයන් සමඟ වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙසේ එකඟතාවයකට පැමිණි බව අධිකාරිය කියා සිටියේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා මේ බව පැවසීය.

මේ වන විට වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 45ට අඩුවෙන් සිල්ලර මිලට ලබා ගැනීමට ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

දැනට දිනක බිත්තර නිෂ්පාදනය ලක්ෂ 85 දක්වා ඉහළ ගොස් ඇති බවත් ගොවි පොළෙන් බිත්තරයක් රුපියල් 35, 36 තොග මිලට නිකුත් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.