පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළින් ආසියාවට වාසි ක්‍රීඩා 10ක් කපලා-ඔස්ට්‍රේලියාව බෑ කියද්දී ස්කොට්ලන්තය හා කියයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ඔස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හිදී පැවැත්වීමට තීරණය වෙයි. 2026 වසරේ ජූලි 23 වැනිදා සිට අගෝස්තු 2 වැනිදා දක්වා ග්ලාස්ගෝව්හිදී මේ ක්‍රීඩා උලෙළ පැවැත්වෙන බව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය පෙරේදා නිවේදනය කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් වැඩි පදක්කම් දිනාගත් බැඩ්මින්ටන්, වෙඩි තැබීම, ක්‍රිකට්, හොකී, ස්කොෂ්, මේස පන්දු, මල්ලවපොර, බීච් වොලිබෝල් සහ දුනු විදීම ඇතුළු ක්‍රීඩා 10ක් 2026 ග්ලාස්ගෝව් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළින් ඉවත් කර තිබීම පිළිබඳ විශාල කතාබහක් ඇතිව තිබේ.

මලල ක්‍රීඩා, පිහිනුම්, කලාත්මක ජිම්නාස්ටික්, පාපැදි, නෙට්බෝල්, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බාස්කට්බෝල් හා ලෝන්ග් බෝල් යන ක්‍රීඩා ඉසව් 10 පමණක් පැවැත්වීමට මෙවර තීරණයවී තිබේ. මීට අමතරව පැරා ක්‍රීඩකයන් සඳහා ඉසව් කිහිපයක් පැවැත්වීමට ස්කොට්ලන්ත රජය කැමැත්ත පළකොට ඇත.

වසර 2022දී අවසන් වරට පැවති බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී අසල්වැසි ඉන්දියාව පදක්කම් 61ක් දිනාගත් අතර, ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා, රිදී, ලෝකඩ පදක්කම් දෙකක්, බර ඉසිලීමෙන් ලෝකඩ පදක්කමක් හා මල්ලවපොර ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

1998 සිට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කොටසක්වූ හොකී ක්‍රීඩාවද ඉවත්කොට ඇති අතර, ඔස්ට්‍රේලියාවේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් සෑම විටම මෙහි ආධිපත්‍යය දැරුවේය. ඔස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායම හත්වතාවක් (1998, 2002, 2006, 2010, 2014, 2018 සහ 2022) රන් පදක්කම දිනාගෙන ඇත. ඒ සමඟම කාන්තා කණ්ඩායම සිව්වතාවක් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ඇත. ඉන්දීය පිරිමි කණ්ඩායම 2010, 2014 සහ 2022 වසරවලදී හොකී රිදී පදක්කම දිනාගත් අතර අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්විය.

මෙවැනි තත්ත්වයක් හමුවේ ආසියානු රටවල් කිහිපයක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගිවීම ප්‍රශ්න සහගත බව සඳහන් කර ඇත.