චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවෙයි. ෂී ජින් පිං මහතා පසුගියදා(23) Kazan හිදී 16වන බ්‍රික්ස් නායක සමුළුවට සහභාගී වන අතරතුර එම හමුව සිදුව ඇත.

පැරණි ශිෂ්ටාචාරවලින් පැවත එන සහ සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල් දෙකක් ලෙස මෙන්ම ගෝලීය දකුණේ වැදගත් රටවල් දෙකක් ලෙස චීනය හා ඉන්දියාව අනන්‍ය ජාතික නවීකරණ සංවර්ධනයේ තීරණාත්මක අදියරක සිටින බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙපාර්ශ්වය අතර සම්බන්ධීකරණ හා සහයෝගීතා ශක්තිමත් කොට ගැටළු හා මතභේද නිසි ලෙස විසඳා ගත යුතුය. ගෝලීය බහුධ්‍රැවීයතාව සහ ජාත්‍යන්තර සම්බන්ධතාවය තුළ දී ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා උසස් කාර්යභාරයක් ඉටු කළ යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

මේ අතර ඉන්දීය-චීන සබඳතාවේ ස්ථාවරත්වය හා සංවර්ධනය පවත්වා ගැනීම දෙරටට හා දෙරටේ ජනතාවට ඉතා වැදගත් වන අතර එය ලෝක සාමය හා ස්ථාවරත්වයට ද අතිශය වැදගත් බව නරේන්ද්‍ර මෝදි මහතා එහිදී පැවසීය. උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කොට උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර දෙපාර්ශ්වය අතර සහයෝගීතා පුළුල් කිරීම සඳහා චීනය සමග කටයුතු කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බව ද හෙතෙම කියාසිටියේය.

මෑතකදී සමීප සම්බන්ධතා හා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමෙන් දෙරටේ දේශසීමා මායිම් ප්‍රදේශවල අදාළ ගැටළු විසඳීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ධනාත්මක සම්මුතියකට එළඹීම නායක දෙපළගේ ඇගයීමට ලක් වූහ.

දේශසීමා මායිම් ප්‍රදේශවල සාමය හා ආරක්ෂාව පොදුවේ සහතික කරමින් අදාළ ගැටළු විසඳීමට සාධාරණ හා යුක්ති සහගත සැලැස්මක් නිර්මාණය කිරීම උදෙසා දෙරටේ දේශසීමා මායිම් ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිතවරුන්ගේ හමුවීම් යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද නායක දෙපළ එහිදී එකඟතාවකට එළඹ තිබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දෙරට විදේශ ඇමතිවරුන් සහ විවිධ මට්ටම්වල නිලධාරීන් අතර සංවාද පවත්වා බහුපාර්ශ්වික අවස්ථාවලදී හමුවමාරු හා සහයෝගීතා ශක්තිමත් කිරීමට ද නායක දෙපළ එහිදී එකඟත්වය පළ කර ඇත.