ආරුගම්බේ ප්‍රහාර සැලසුමේ සැකකරුවෝ 3ක් අත්අඩංගුවට

දේශපාලන වාසිවලට අනවශ්‍ය බියවැද්දීම් එපා 
දෙස්-විදෙස් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරුයි
– මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් කියයි

රට තුළ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළේ යැයි සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ පුද්ගලයන් ගැන දීර්ඝ වශයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බවත් මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

වගකිව යුතු රජයක් ලෙස මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන බැවින් මේ සිද්ධිය පාවිච්චි කර අනවශ්‍ය බියවැද්දීම්, දේශපාලන වාසි ලබා ගැනීම් සඳහා උත්සාහ නොකරන ලෙසත් හෙතෙම පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට තුළ සිටින විදෙස් ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති අතර මෙරට ජනතාවට ද ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් සැකයක් ඇති කර ගත යුතු නොවන බව ද ඇමැතිවරයා කීය.

වත්මන් තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් නැති බවත් ඔවුන්ට අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන යොදා ඇති හෙයින් සංචාරකයන් සුපුරුදු පරිදි කටයුතු කරමින් සිටින බව ද කී ඇමැතිවරයා වත්මන් රජය බලයට පත්වී මසක් ගෙවෙන අවස්ථාවේ ආරක්ෂක කවුන්සිලය කිහිපවරක් රැස්වී බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරමින් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ද කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ උදෑසන 7.00ට ජනපති, අගමැති ඇතුළු ආරක්ෂක කවුන්සිලය රැස්වී රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය විධිවිධාන, ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඇමැතිවරයා කීය.

මේ වන විට සංචාරකයන්ගේ පැමිණීම අඩු වී නැති අතර පෙරේදා ද (23) ඊශ්‍රායල සංචාරකයන් මෙරට පැමිණි බව ද කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“අපි දින කිහිපයකින් මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරනවා. එතකොට දැනට අමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් කිහිපයකින් ලබාදී තිබෙන අවවාදාත්මක පණිවිඩයත් ඉවත් කර ගන්න පුළුවන්. ඒ අය දැනටමත් සෑහීමකට පත් වෙලා තිබෙනවා අපි ගත් ක්‍රියාමාර්ග පිළිබඳ. ඒ නිසා ඒ අයගේ පැත්තෙන් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා තමන්ගේ රටේ පුරවැසියන් අපේ රට තුළ සංචාරක කටයුතුවලට එවන්න. සංචාරකයන් පැමිණීමේ නැවතීමක් වෙලා නැහැ. පෙරේදාත් ඊශ්‍රායල ජාතිකයන් ලංකාවට ඇවිල්ලා තිබුණා. එහෙම ප්‍රශ්නයක් නැහැ. පැමිණ ඉන්න අය තමන්ගේ සංචාරක කටයුතු නිදහසේ කරනවා. ඒවාට බාධාවක් නැහැ. ඉතින් මේ තත්ත්වය දැනටමත් අප පාලනය කරලා තියෙනවා. අපි ගත යුතු සෑම පියවරක්ම අරගෙන තියෙනවා. ඒ නිසා කිසිදු ආකාරයක චකිතයක් ඇති කරගත යුතු නෑ. ජාතික වශයෙන් ගත්තාම අපේ රටේ පුරවැසියන් ඉලක්ක කරලා යම් කැලඹිලිකාරී තත්ත්වයක් ඇති කරනවා කියලා වාර්තා වුණේ නෑ. ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ

විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය පවත්වාගෙන යන ආයතනවලටත් අප දැනටමත් දැනුම් දීලා තියෙනවා ඒ ඒ හෝටල්වල ආරක්ෂක විධික්‍රම පාවිච්චි කරන්න, පරීක්ෂා කිරීම් කරන්න. ඒ වගේම යම්කිසි තොරතුරක් වාර්තා වෙනවා නම් දුරකතන අංකයක් අපි දීලා තියනවා හදිසි ඇමතුම් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ තත්ත්වය පාවිච්චි කරලා අනවශ්‍ය බියවැද්දීම්, දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාය කරන්න එපා. අපි වගකිව යුතු රජයක් විදිහට ගත යුතු, ගත හැකි සෑම ආරක්ෂක පියවරක්ම අරගෙන තියෙනවා. මේ වන විට ඊශ්‍රායල ජාතිකයන් පන්සිය හැත්තෑ පස් දෙනකු ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදී සිටිනවා. විදේශිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු රටවල් සෑහීමකට පත්ව තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනාගෙන් මේ විට ප්‍රශ්න කිරීම් සිදු කරනවා.

මෙම අනතුරු ඇඟවීම ජනාධිපතිවරණයෙන් පසුව සිදු වූවක් නොවෙයි. ජනාධිපතිවරණයට පෙර සිටිම බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබුණා. ඉන්දීය බුද්ධි අංශ ගැන මෙන්ම මේ සඳහා මුදල් සංසරණයන් සම්බන්ධයෙන් විවිධ මාධ්‍යවල පළ වූ පුවත්වල සත්‍යතාවක් නැහැ. එම තොරතුරු සම්පූර්ණ අසත්‍යයක්.” යැයි ද කීවේය.