අල්ලස් ගත් ගම්පොළ ඇඩ්මින් OICගේ වැඩ තහනම්

ගම්පොළ පොලිස් ස්ථානයට එරෙහිව ලැබී ඇති අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක විමර්ශනයකට අදාළව ඉල්ලා ඇති ලිපි ලේඛන කිහිපයක් රැගෙන අල්ලස් කොමිෂන් සභාව හමුවට යෑමට සූදානමින් සිටි ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා එම ගමනට සිය වාහනයට ඉන්ධන ලබා ගැනීමට යැයි පවසා පැමිණිලිකරුගෙන්ම රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පොළ පානබොක්ක මාවතේ ආපන ශාලාවකදී පෙරේදා (23) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන මෙම නිලධාරියා ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරත වීමට පෙර සේවය කර ඇත්තේ ගම්පොළ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලෙස බව උසස් පොලිස් නිලධාරියා පැවසීය. ඔහු සම්බන්ධයෙන් ලද විවිධ විෂමාචාර සිදුවීම් සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව එම ස්ථානයෙන් ඔහුව ඉවත් කළ බවත් ඒ අනුව ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස පත්වූ බවත් එම නිලධාරියා කීය. ඊට පෙර මෙම නිලධාරියා සේරුනුවර පොලිසියේ ද ස්ථානාධිපති ලෙස සේවය කර ඇති බවත් එම තනතුර පවා ඔහුට අහිමි වී ඇත්තේ මෙවන් විෂමාචාර චෝදනා එල්ල වීම නිසා බව ද එම නිලධාරියා සඳහන් කළේය.

මෙවර ඔහු අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ට හසුවී ඇත්තේ ගම්පොළ පදිංචි පුද්ගලයකු විසින් අල්ලස් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලකට අදාළව බව ද එම නිලධාරියා කීය.

ගම්පොළ පදිංචි පුද්ගලයා අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත්තේ ගම්පොළ මූලස්ථාන පොලිසියට එරෙහිවය. ඒ ඔහු විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් වූ සිදුවීමක් මුල්කරගෙනය.

එකී පැමිණිලිවල උද්ධෘත හා නඩුවල තත්ත්වය ඇතුළත් වාර්තාවක් සමඟ ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සහ අංශ භාර ස්ථානාධිපතිවරුන්ගේ නාම ලේඛනයක්, රාජකාරි වාර්තාවක් ඇතුළු තවත් වාර්තා කිහිපයක් රැගෙන අද (25) පැමිණෙන ලෙස ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුම්දී තිබී ඇත.

එම ගමනට සූදානම් වූ මෙම නිලධාරියා ගම්පොළ සිට කොළඹ බලා ගමන් කිරීමට සිය මෝටර් රථයට පෙට්‍රල් ලබා ගැනීමට පොලිසියට එරෙහිව පැමිණිල්ල කළ පුද්ගලයාගෙන් රුපියල් 20,000ක මුදලක් ඉල්ලා ඇත්තේ ඔහුට සහාය වන ලෙස අල්ලස් කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්විය හැකි බව සඳහන් කරමිනි. මුදල් ලබා නොදෙන්නේ නම් පැමිණිලිකරුට අගතිදායක ලෙස කටයුතු කරන බව පවසා බිය ගන්වා ඇති බව සඳහන්ය. මේ ගැන අල්ලස් කොමිෂන් සභාවට දැනුම්දීමට පැමිණිලිකරු පියවර ගෙන තිබේ. අදාළ මුදල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබා ගන්නා අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන්ට හැකි වී ඇත්තේ ඒ අනුවය.

අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගැනීමත් සමඟ ගම්පොළ පොලිස් අධිකාරිවරයා විසින් ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබිණි.